Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් වීර සෙන්පතියා

|Mon, 24 August 2020|Miscellaneous| Page Views :

2009 වසරේ මැයි මාසයේ දී අපගේ ත්‍රිවිධ හමුදාවන් 30 වසරක් පුරා පැවති කුරිරු යුද්ධය නිමා කරනු ලැබුවා. එම වසර 30 පුරාවට මව්බිමේ නිදහස දිනාගැනීම වෙනුවෙන් රණවිරුවන් රැසක් සිය ජීවිතය පූජා කළා. ඒ වීරෝදාර රණවිරුවන් අතුරින් ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් සෙන්පතියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මීට වසර 28කට පමණ පෙර අරාලි තුඩුවේ දී සිදුවුණු බෝම්බ පිපිරීමක් නිසා අභාවයට පත්වුණු එතුමා මෙරට යුද්ධ හමුදා ඉතිහාසය තුළ බිහි වුණු දක්ෂතම නිලධාරීන් අතුරින් කෙනෙක්. එම නිසා කොබ්බෑකඩුව රණවිරුවා යුධ බිමේ දී පෑ හපන්කම් ගැන අදටත් බොහෝ දෙනෙකු කතා කරන්නේ ඉතාමත් ගෞරවයෙන්.

උපත සහ පාසල් කාලය

1940 වසරේ ජූලි 27 වැනිදා මහනුවර ගුන්නෑපාන පමුණුගම වලව්වේ දරු උපතක් සිදුවුණා. එදින දෙල්දෙණියේ ලොකු බණ්ඩා කොබ්බෑකඩුව නිළමේතුමාට සහ අයෝනා රත්වත්තේ මැතිණියට දාව උපන් පිරිමි දරුවාට ‘ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව’ යන නම තබනු ලැබුවා. කුඩාකල සිය මාපියන්ගේ තුරුලේ හැදී වැඩුණු ඩෙන්සිල් ළදරුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කරනු ලැබුවේ ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා යි. පාසල් සමයේ අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද එක සේ හපන්කම් පෑ ඩෙන්සිල් කොබ්බෑකඩුව සිසුවා පාසලේ රග්බි, ක්‍රිකට්, සහ හොකී යන කණ්ඩායම්වල සාමාජිකයෙකු වූවා. කුඩාකල සිටම මනා හික්මීමකින් යුතු ක්‍රියාශීලි සිසුවෙකු වුණු ඔහු, පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව සිය ජීවන වෘත්තිය ලෙසින් තෝරාගනු ලැබුවේ ආරක්ෂක අංශය යි.

යුද්ධ හමුදාවට එක් වීම

1960 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙසින් යුද්ධ හමුදාවට එකතු වුණු ඩෙන්සිල් කොබ්බෑකඩුව තරුණයා දියතලාව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයෙන් මූලික පුහුණුව ලැබුවා. ඉන් අනතුරුව වැඩිදුර පුහුණුව සඳහා මහා බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා ඇකඩමියට යාමට වරම් හිමිකරගත් ඩෙන්සිල් කොබ්බෑකඩුව යළි ලංකාවට පැමිණියේ 1962 වසරේ දී යි. විදෙස් රටක දී මනා පුහුණුවක් ලැබීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙසින් උසස් වීමක් ලබාගත් ඩෙන්සිල් තරුණයා මුලින්ම සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට යි. එදා සිට කැපවීමෙන් සිය රාජකාරී කටයුතු කළ කොබ්බෑකඩුව තරුණයාට 1966 වසරේ දී කිසි දිනෙක බලාපොරොත්තු නොවුණු ආකාරයේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු වුණා.

1966 හමුදා කුමන්ත්‍රණ චෝදනාව

1965 වසරේ දී බලයට පත් වුණු ඩඩ්ලි සේනානායක රජය හඳුන්වනු ලැබුවේ ‘හත් හවුල’ ලෙස යි. එම ආණ්ඩුව බලයට පත් වී මාස කිහිපයකින් අත්සන් කළ ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම නිසා රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් උදා වුණා. ඉන් මාස කිහිපයකට පසුව ජෙනරාල් රිචඩ් උඩුගම, එංගලන්තය බලා ගියේ යුද්ධ හමුදාවට අවශ්‍ය උපකරණ පරීක්ෂා කිරීම සඳහා යි. නමුත් ආරක්ෂක අමාත්‍යාංශය ඔහුට හදිසි කැඳවීමක් කරමින් ලංකාවට ගෙන්වා ගත්තා. ජෙනරාල් උඩුගම ආපසු ලංකාවට පැමිණි අවස්ථාවේ දී පොලිස්පති ජෝන් ආටිගලගේ අත්අඩංගුවට පත් වුණා. එහි දී ඔහුට විරුද්ධව එල්ල වුණු චෝදනාව වුණේ කුමන්ත්‍රණයක් මඟින් රජය පෙරළීමට උත්සාහ කිරීම යන්න යි. එම අවස්ථාවේ දී ඩෙන්සිල් කොබ්බෑකඩුවටත් අභූත චෝදනා එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අනිවාර්ය නිවාඩු යවනු ලැබුවා.

කොබ්බෑකඩුව යළි හමුදාවට

1970 වසරේ සමගි පෙරමුණු රජය බලයට පත්වීමත් සමග ඩෙන්සිල් කොබ්බෑකඩුව නිලධාරියාව යළි හමුදා සේවයට කැඳවනු ලැබුවා. ඉන් වසර කිහිපයක් ගතවත්ම උතුරු පළාතේ යම් නාඳුනන කල්ලියක් විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කෙරෙන්නට පටන් ගත්තා. එලෙස උතුරුකරය ගිනියම් වෙමින් පැවති කාල සමයක නාඳුනන තුවක්කුකරුවෙකු විසින් යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෛඅප්පාව ඝාතනය කෙරෙන්නේ 1975 වසරේ දී යි. එම ඝාතනයත් සමගම උතුරේ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයෙහි වර්ධනයක් දක්නට ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 70 දශකයේ අග භාගය වන විට ඊළාම් යුද්ධයේ ආරම්භය සිදු වුණා. මුල් අවධියේ දී නිසොල්මනේ ඉදිරියට ඇදුණු යුද්ධය ප්‍රචණ්ඩ ස්වභාවයක් ගත්තේ 1983 වසරේ දී සිදු වුණු කළු ජූලිය නිසා යි. ඒ වන විට අත්දැකීම් රැසක් ලබාගෙන සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව ක්‍රියාන්විතවල දී අභීතව සටන් කළා.

සම්බන්ධ වුණු අමතක නොවන ක්‍රියාන්විත

ඩෙන්සිල් කොබ්බෑකඩුව යන නම ඇසුණු සැනින් කාගේත් මතකයට එන්නේ ‘ඔපරේෂන් ලිබරේෂන්’ හෙවත් 1987 වඩමාරච්චි සටන යි. එම ක්‍රියාන්විතයේ දී වන්නි බලසේනාවට අණ දුන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව යි. එදා ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රහාර හමුවේ අන්ත අසරණ වුණු ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදීන්ව ඉන්දීය රජය විසින් බේරාගනු ලැබුණා. එදා ඉන්දීය රජය, ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කරමින් සිදු කළ බලපෑම නිසා මෙහෙයුම අතරමඟ නැවැත්වීමට සිදුවුණේ අවාසනාවන්ත අයුරිණි.

වඩමාරච්චි සටනින් පසුව කොබ්බෑකඩුව විරුවාගේ නම කියවුණු ප්‍රධානම සටනක් වුණේ ‘ක්ලීන් ස්වීප්’ නම් ක්‍රියාන්විතය යි. 1990 වසරේ දී ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සාම සාකච්ඡා පැවැත්වුණා. එම සාම සාකච්ඡා අතරතුර හිතුවක්කාරී ලෙස ක්‍රියා කළ කොටි ත්‍රස්තවාදීන් නැගෙනහිර පළා‍තේ පොලීසිවලට පහර දී එම ප්‍රදේශයෙහි බලය අල්ලා ගත්තා. එහි දී ඔවුන් පොලිස් නිලධාරින් 600ක් අමු අමුවේ මරා දමනු ලැබුවා. එදා නැගෙනහිර අහිමි වුණු බලය යළි අල්ලා ගැනීමේ වගකීම පැවරුණේ කොබ්බෑකඩුවට යි. නැගෙනහිර සටන් බිම කොටස් හතරකට බෙදමින් මනාව සැලසුම් කළ ක්‍රියාන්විතය සාර්ථකව අවසන් කිරීමට හැකි වුණේ නැගෙනහිර කොටි ත්‍රස්තයන්ගේ බලය බිඳ දමමිනි. රණශූරත්වය තුළින් සතුරාව මවිත කළ කොබ්බෑකඩුව නම් සෙන්පතියා 1991 වසරේ දී අලිමංකඩ මුදා ගැනීම සඳහා සිදු කළ ‘බලවේගය’ නම් ක්‍රියාන්විතය සඳහා ද විශිෂ්ට නායකත්වයක් ලබාදුන්නා. එම නිසාම කඳවුර යළි අත්පත් කරගැනීමට අපගේ හමුදාවන්ට හැකි වුණා.

මානුෂීය ගුණ

ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතියා සටන් බිම තුළ දී ලෙහෙසියෙන් පසු බසින කෙනෙක් නොවෙයි. ඔහු සෑම විටම සිය සෙබළුන්ව දිරිමත් කරමින් ක්‍රියාන්විතය ඉදිරියට ගෙන යන ශූරයෙකු වුණා. එහි දී ඔහු යටතේ සිටි සෙබළුන්ට “ළමයි” යනුවෙන් අමතමින් වඩාත් ලෙන්ගතුව කටයුතු කළේ ඔවුන්ගේ චිත්ත ධෛර්යය තවත් වැඩි කරමිනි. එසේම තුවාල ලැබූ සෙබළුන්ට පියෙකු මෙන් සැලකූ මෙම සෙන්පතියා ඔවුන්ව ප්‍රතිකාර කරා යොමුකර, ඔවුන්ගේ සැප දුක සොයා බැලීමට කටයුතු කළ බව ප්‍රසිද්ධ කාරණයක්. 1971 සහ 1988-89 කාලවල දී මෙරට සිදු වුණු අරගලවල දී කොබ්බෑකඩුව රණවිරුවා ඉතාමත් සංවේදීව ක්‍රියා කළා. නිකරුණේ මිනිසුන් ඝාතනය කිරීමට විරුද්ධ වුණු ඔහු සෑම විටම කැරළිකරුවන්ට සහනයක් ලබාදුන්නා. එසේම යුධ බිම්වල සිටි නිරායුධ සිවිල් වැසියන්ට කරුණාවන්ත වුණු කොබ්බෑකඩුව රණවිරුවා ඔවුන්ගේ ආදරය ද නොඅඩුව දිනාගත්තා.

අවාසනාවන්ත මරණය

1992 වසරේ අගෝස්තු මාසය වන විට ‘ෆයිනල් කවුන්ට්ඩවුන්’ නම් දැවැන්ත ක්‍රියාන්විතය සඳහා කොබ්බෑකඩුව ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් පිඹුරුපත් සකස් කරමින් සිටියා. 1992 වසරේ අගෝස්තු 8 වැනිදා කොබ්බෑකඩුව ඇතුළු නිලධාරින් පිරිසක් යාපනයේ අරාලි තුඩුවට ගියේ රහස් සාකච්ඡාවක් සඳහා යි. එම සාකච්ඡාව අවසන් වී පැමිණෙන ගමනේ දී ඔවුන් ගමන් කළ ජීප් රථය බිම් බෝම්බයකට හසු වුණා. තුවාල ලැබූ කොබ්බෑකඩුව විරුවාව හෙලිකොප්ටරයකින් ගෙනගොස් පලාලි රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු එහි මූලික ප්‍රතිකාර ලබන අතරතුර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් වෙමින් සිටියා. නමුත් එදා ඔහුව කොළඹට රැගෙන යමින් සිටි හෙලිකොප්ටරය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අහසේ කරණම් ගසා අවසානයේ දී ගියේ කොළඹ ජාතික රෝහල වෙතට යි. විශාල ප්‍රමාදයකින් පසුව රෝහල්ගත කළ කොබ්බෑකඩුව විරුවාව බේරාගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක නිරත වුණත් එය සාර්ථක වුණේ නැහැ. අවසානයේ ලක්වාසීන් දුක් සයුරේ ගිල්වමින්, කොබ්බෑකඩුව වීරයා පස්වරු 2.30ට පමණ සදහටම දෙනෙත් පියාගත්තා.

මරණය අදටත් අභිරහසක්

ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මරණය සිදුවුණු ආකාරය පිළිබඳව බලවත් සැකයක් එකල සමාජය තුළ පැවතුණා. ඔහුගේ මරණය සම්බන්ධව විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ලවුණා. එහි දී වඩාත් සැක සහිත සිදුවීම වුණේ ඔහුව රෝහල්ගත කිරීම සඳහා සිදුවුණු ප්‍රමාදය යි.

එසේම, බෝම්බ පිපිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ දේශීය පරීක්ෂකයන් පුපුරා ගියේ බිම් බෝම්බයක් බව සඳහන් කළත්, විදේශීය පරීක්ෂකයාගේ නිගමනය වුණේ එය බිම් බෝම්බයක් නොවන බව යි. එම අවධියේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් කොබ්බෑකඩුවගේ මරණය පිළිබඳව සොයා බැලීමට 1994 දී බලයට පත් වුණු පොදු පෙරමුණු රජය විශේෂ කොමිසමක් පත් කළා. තිස්ස ඩයස් බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණු එම කොමිසම මඟින් සැලකිය යුතු දෙයක් අනාවරණය කරගැනීමට හැකි වුණේ නැහැ. එම නිසා අදටත් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ හදිසි මරණය අභිරහසක්ව පවතිනවා. ලාංකිකයන්ගේ අවාසනාවට එදා කොබ්බෑකඩුව වීරයා හදිසියේම නික්ම ගියත්, ඔහු කළ වීරකම් ලක් ඉතිහාසය තුළ හැමදාමත් බැබලී පවතිනවාට සැකයක් නැහැ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න