බස් හැදිල්ලෙන් කෝටි ගණනක් කම්බස්
2024 April 21- Page Views : 17 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 300ක් අලුත් වැඩියා කිරීම සඳහා 2022 වර්ෂයේදී රුපියල් කෝටි 24ක පමණ මුදලක් වෙන්කර ඇතත් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ බස් රථයක 180ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ප්‍රාදේශීය වැඩපොළ සහ ඩිපෝවලින් බස් රථ තුන්සිය අලුත් වැඩියා කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කරනු ලැබුවේ මහා භාණ්ඩාගාරය සහ ගමනාගමන මණ්ඩලය විසිනැයිද එහි දැක්වේ.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අම්පාර පෙරසවි ටයර් කර්මාන්තශාලාවෙන් පෙරසවි ටයර් නිෂ්පාදනය කිරීමේදී රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැඩියෙන් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම කටයුත්ත සඳහා මහා භාණ්ඩාගාරය සහ ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 11 කට වැඩි ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඉන් කෝටි දහයකට වැඩි මුදලක් වැය කර ටයර් 8997ක් පමණක් නිෂ්පාදනය කර තිබූ බව වාර්තාව සඳහන් කරයි.
මණ්ඩලය සඳහා බස් රථ එන්ජින් කට්ටල 840 ක් වාර්ෂිකව අලුත්වැඩියා කර ධාවනයට යෙදවීමට සැලසුම් කර ඒ සඳහා භාණ්ඩාගාරය සහ මණ්ඩලය 2022 වර්ෂයේදී රුපියල් කෝටි 66 ක් වෙන්කර තිබුණද අලුත් වැඩියා කර ඇත්තේ බස් රථ 254 ක් බව වාර්තාවේ දැක්වේ.
ඒ සඳහා වැය කර තිබූ මුදල රුපියල් කෝටි අටක් පමණ වන අතර අපේක්ෂිත නිමවූම් ඉලක්කය සියයට හැත්තෑවකින් පහළ යෑම හේතුවෙන් ඉලක්කගත පරිදි බස්රථ ධාවනයට එකතු කරගැනීමට නොහැකිවී තිබූ බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.