ChatGPT සහායෙන් Anime ගිණුම් 46,000ක් මැකූ 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට
2026 July 09- Page Views : 8
කෘතිම බුද්ධි තාක්ෂණයෙන් යුත් ChatGPT මෙවලමෙහි සහය ඇතිව සකස් කරන ලද පරිගණක මෘදුකාංගයක් ආධාරයෙන්, ප්‍රකට ජපන් කාටූන් (Anime) වෙබ් අඩවියක පරිශීලක ගිණුම් 46,000කට අධික ප්‍රමාණයක් අවලංගු කළ 15 හැවිරිදි උසස් පාසල් සිසුවෙකු ජපාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිසුවා 'Bandai Namco Filmworks' සමාගමට අයත් 'Bandai Channel' නමැති සජීවී දර්ශන නැරඹීමේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරමින් එහි ව්‍යාපාරික කටයුතුවලට බාධා පමුණුවා ඇතැයි සැක කෙරේ.
2025 නොවැම්බර් මාසයේදී මෙම සිසුවා අදාළ වෙබ් අඩවියේ පැවති ආරක්ෂක දුර්වලතාවක් හඳුනාගෙන ඇත.
ඉන්පසු ඔහු සාමාජික ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම ස්වයංක්‍රීයව සිදු කළ හැකි පරිගණක ක්‍රයාවලියක් සකස් කිරීමට ChatGPT හි සහය ලබාගෙන තිබේ.
2025 නොවැම්බර් 4 වන දින ඔහු විසින් නිකුත් කරන ලද ව්‍යාජ පරිගණක විධාන හේතුවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටි සාමාජිකයන් 46,812 දෙනෙකුගේ ගිණුම් ස්වයංක්‍රීයවම අවලංගු වී ගොස් ඇත.
මේ හේතුවෙන් අඩාල වූ වෙබ් අඩවියේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට සමාගමට දෙසැම්බර් මාසය දක්වා කාලය ගත වී තිබේ.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර සිසුවා පවසා ඇත්තේ,
"ගිණුම් ඉවත් කිරීමේ කේතය මම තනියම හැදුවත්, ඒක ක්‍රියාත්මක වෙන්න ගොඩක් වෙලාව ගියා. ඒ නිසා මම ChatGPT එකෙන් උදව් අරගෙන වෙනත් පරිගණක භාෂාවකින් ඒක ඉක්මනින් නිම කළා. මම හතර වසරේ ඉඳන් තනියම පරිගණක ක්‍රමලේඛනය ඉගෙන ගත්ත කෙනෙක්. මට මේ සමාගම එක්ක කිසිම තරහක් තිබුණේ නැහැ. ලෙහෙසියෙන්ම ඇතුළු වෙන්න පුළුවන් ගිණුම් විශාල ප්‍රමාණයක් තිබුණු නිසයි මම මේ වෙබ් අඩවිය තෝරාගත්තේ." යනුවෙනි.
පොලීසිය පවසන පරිදි, සමාගම විසින් සිසුවාගේ පරිගණක අන්තර්ජාල ලිපිනය අවහිර කිරීමට පියවර ගත්තද, ඔහු 30 වතාවකට වඩා සිය IP ලිපිනය වෙනස් කරමින් දිගින් දිගටම මෙම ප්‍රහාරය එල්ල කර ඇත. මෙම සිසුවා මීට පෙර පසුගිය ජුනි මාසයේදීද වෙනත් පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි අයෙකි.
සිද්ධියෙන් පසු 'Bandai Namco Filmworks' සමාගම පීඩාවට පත් පාරිභෝගිකයන්ගෙන් සමාව අයැද සිටි අතර, සේවාව අඩාල වූ කාලය සඳහා මුදල් ප්‍රතිපූරණය (Refunds) කිරීමටද පියවර ගෙන ඇත.
පරිශීලකයන්ගේ දත්ත කිසිවක් අන්තර්ජාලයට කාන්දු වී හෝ අවභාවිත වී නොමැති බවද සමාගම තහවුරු කර තිබේ.