ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් එක්දින වාර්තා රැසක්
2024 April 18- Page Views : 1877
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
ඒ ඊයේ (17) දිනයේ අවසන් වු තෙවන එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබා ගැනීමට සමත් වුණි.
එම ඉනිම වෙනුවෙන් ලෝරා වොල්වාඩ් නොදැවී ලකුණු 184ක් ලබාගත්තාය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළහ.
එහිදි කාන්තා කණ්ඩායමක් එක්දින තරගාවලියක ඉහළ ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය වාර්තා කිරීමේ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් ලබාගත් අතර ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 26ක් ඇතුළත්ය.
ඒ අනුව එක්දින ක්‍රිකට් තරගාවලියක කාන්තා ක්‍රීඩිකාවක් ලබාගත් ඉහළම තෙවැනි ලකුණු සංඛ්‍යාව මෙය වනු ඇත.
තරගයේ වීරයා සම්මානය චමරි අතපත්තු විසින් හිමිකර ගත්තාය.