WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

8 වසරේ දී සාපෙළ කඩඉම ජයගත් නිවුන් දරුවෝ

2024 October 02- Page Views : 49

වයස අවුරුදු 13දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඉතා ඉහළින් එම කඩඉම ජයගත් නිවුන් දරුවන් දෙදෙනෙකු පිළිබඳව කළුබෝවිල ප්‍රදේශයෙන් වාර්තා වුණි. නුගේගොඩ කළුබෝවිල ඇන්ඩර්සන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම නිවුන් දරුවන් දෙදෙනාගෙන් දියණිය වන ඩබ්.පී.පී. නිතිකා සාධ්‍යා නුගේගොඩ ශාන්ත ජෝන් (කාන්තා) විද්‍යාලයේ අට වසරෙහි ඉගෙනුම ලබමින් සිටියදී පසුගියදා පැවති අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභායට මුහුණ දී අධි සම්මාන හතක් සහ සම්මානයක් සමඟින් විභාගය සමත්ව ඇත.

එමෙන්ම ඇයත් සමග එම විභාගයට මුහුණදුන් ඇයගේ නිවුන් සහෝරයා වන කොළඹ ඉසිපතන විද්‍යාලයේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්.පී.පී. නිශාන් සහජිත් සිසුවා ද අධි සම්මාන සහ සම්මාන සහතික ලබා ගනිමින් විභාගය සමත්ව ඇත.

අඩු වයසකින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීම සඳහා දරුවන් දෙදෙනාම අදාළ පාසල්වලින් නීත්‍යානුකූලව ඉවත් වීමෙන් පසු පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ මඟපෙන්වීම මත මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව එම නිවුන් දරුවන් දෙදෙනාගේ පියා වන ඩබ්. පී. පී. නිශාන්ත මහතා පැවසීය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක් වූ නිතිකා සාධ්‍යා දියණිය මෙසේ පැවසීය.

"තාත්තා තමයි මට කියලා දුන්නේ ඉස්කෝලෙ 11 වසරට යන්න කලින් මේ විදිහට විභාගෙට ලියන්න පුළුවන් කියලා. මට ආස හිතුනා ඒ හින්දා. මල්ලිත් ලියනවා කිව්වා. ඊට පස්සේ අපි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ යටතේ ඉගැන්වීම් කටයුතු කළා. මේ ලබාගත්ත ජයග්‍රහණය ගැන මට හුඟක් සතුටුයි. උසස් පෙළ ගණිතය අංශයෙන් මුහුණදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මම පරිගණක තාක්ෂණික පැත්තටත් කැමතියි. ඉගෙනුම් කටයුතුවලින් පසු පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි."

තමන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ නිශාන් සහජිත් පුතු මෙලෙස අදහස් දැක්වීය.

"අපි අට වසරේ ඉන්නැද්දිම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමුද කියලා අක්කා මගෙන් ඇහුවා. එයත් මා එක්ක විභාගය ලියන නිසා මටත් ආසා හිතුනා. ඒ ගමන අපි දෙන්නම එකට පාඩම් කළා. මටත් වැඩිය හොඳට අක්කගේ ප්‍රතිඵල තියෙනවා. අපි දෙන්නම විභාගය සමත් වෙච්ච එක ගැන මට හුඟාක් සතුටුයි. මගේ අම්මා, තාත්තා හුඟාක් උදව් කළා අපිට මේ ජයග්‍රහණය ලබාගන්න. ඒ වගේම අපිට උගන්වපු ගුරුවරුත්. මේ වන විට මම ලන්ඩන් උසස් පෙළ විභාගයට ඉගෙන ගනිමින් ඉන්නවා. අක්කා වගේම මමත් පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි. අපිට උදව් කරපු ගුරුවරු සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා."