WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හැරී බෘෘක් හා ජෝ රූට් ක්‍රිකට් වාර්තා අලුත් කරයි

2024 October 10- Page Views : 19

පාකිස්තානය හා එංගලන්තය අතර මුල්ටාන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 152ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 115ක් පසුපසින් සිටියි.

අද තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 101ක් ක්‍රීඩාකර කඩුලු 03ක් දැවී ලකුණු 492ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් අද දිනයේ තවත් පන්දුවාර 49ක් ක්‍රීඩාකර ලකුණු 331ක් රැස්කර සිය ඉනිම කඩුලු 7කට ලකුණු 823ක් දක්වා ඉහළ දමා ගත්තේය. එංගලන්තය පන්දුවාර 150කදී මෙම ඉනිම ගොඩනැගීම විශේෂත්වයකි.

මෙහිදී එංගලන්තය ගොඩනැගූ දැවැන්ත ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස්කළ 4වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

එමෙන්ම මෙය පාකිස්තානයට එරෙහිව ටෙස්ට් කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි.

මීට පෙර පාකිස්තානයට එරෙහිව හොඳම ටෙස්ට් ඉනිම වාර්තාකර තිබුණේ බ.ඉ. කොදෙව්වන්ය.

ඔවුන් 1958 වසරේ කිංග්ස්ටන්හි පැවති ටෙස්ට් තරගයදී ඔවුන් කඩුලු 3කට ලකුණු 790ක් රැස්කර තිබුණි.

එංගලන්ත දැවැන්ත ලකුණු පුවරුව වෙනුවෙන් ජෝ රූට් හා හැරී බෘෘක් පන්දු 552කට මුහුණදෙමින් ලකුණු 454ක් රැස්කිරීමට සමත් වූහ.

මෙය ටෙස්ට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ 4වැනි ඉහළම ලකුණු සබඳතාවයද වේ.

එමෙන්ම එංගලන්තය වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවයද විය.

පන්දු 322කට මුහුණදුන් බෘෘක් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කරමින් ලකුණු 317ක් රැස්කිරීමට සමත් විය.

බෘෘක් පන්දු 310කින් සිය ත්‍රිත්ව ශතක කඩඉම සම්පූර්ණ කළ අතර, එය එංගලන්ත පිතිකරුවෙක් වාර්තාකළ වේගවත්ම ටෙස්ට් ත්‍රිත්ව ශතකය වෙයි.

එමෙන්ම මෙය ලොව දෙවැනි වේගවත්ම ටෙස්ට් ශතකය ද වේ.

එහි වාර්තාවට හිමිකම් කියන්නේ ඉන්දියාවේ විරේන්ද්‍ර ශෙවාග් වන අතර, ඔහු පන්දු 278කින් එම කඩඉම සම්පූර්ණ කර ඇත.

මේ අතර ජෝ රූට්ද මෙහිදී ලකුණු 262ක් රැස්කිරීමට සමත් වූ අතර, එය ඔහුගේ 35වැනි ටෙස්ට් ශතකයද විය.

පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා ලකුණු 556ක් රැස් කළේය.