කඳුනැගීමේ ශූර යොහාන් පීරිස් දිවයිනට
2025 February 24- Page Views : 30 ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
ලෝකයේ මහාද්වීප හතේ උසම කඳු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කඳු නැගීමේ ශූර යොහාන් පීරිස් , ලෝකයේ තවත් උසම කඳු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද (24) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
යොහාන් පීරිස් මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කදු මුදුන සහ දකුණු ඇමෙරිකාවේ , ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙලෙස පැමිණ තිබුණා.
ඒ අනුව මේ වනවිට ආසියා මහාද්වීපයේ එවරස්ට් , අප්‍රිකා මහාද්වීපයේ කිලිමැන්ජාරෝ , ඕස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ , යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස් , ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු ඇමෙරිකාවේ ඇකන්කගුවා යන කඳු සාර්ථකව තරණය කිරීමට යොහාන් පීරිස් සමත් වී තිබෙනවා.
ඔහුට තවත් ඉතිරි වී ඇත්තේ ඇලෙස්කා මහාද්වීපයේ ඩිනාලී කඳු මුදුන තරණය කිරීමට බවත්, තමන් ඒ සඳහා එළඹෙන මැයි මාසයේ මෙරටින් පිටත්ව යන බවත්, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහාන් පීරිස් සඳහන් කළා.
ලෝකයේ මේ වනවිට මේ ආකාරයට ලොව උසම කඳු මුදුන් 07 ම තරණය කළ පුද්ගලයන් 400 ක් සිටින බව ද යොහාන් පීරිස් සඳහන් කළා.
ඔහු පිළිගැනීමට ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.