ගැරඬිඇල්ල ආසන්නයේදීම පෙරලුණු වෑන් රථ අනතුරෙන් තුවාල ලැබූ 20ක් තවමත් රෝහලේ
2025 May 15- Page Views : 41 කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ මාරක බස් අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ 20 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
ඒ අනුව ගම්පොළ මූලික රෝහලේ 13 දෙනෙකු මහනුවර ජාතික රෝහලේ සහ කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ 3 දෙනා බැගින් සහ පේරාදෙණිය සිරිමාවේ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ එක් අයෙකු ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු, කාන්තාවන් 10 දෙනෙකු සහ ළමයින් 06 දෙනෙකු තුවාල ලැබුවා.
ඊයේ පස්වරුවේ නුවරඑළිය - මහනුවර මාර්ගයේ රන්බොඩ ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබුණා.
එහිදී තුවාල ලබා බරපතල තත්වයේ පසු වූ කාන්තාවන් 03 දෙනෙකු ගම්පොළ මූලික රෝහලේ සිට මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යැවුණා.
එමෙන්ම, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලට මාරු කර යවා ඇත්තේ, කුඩා දරුවෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
මෙම පිරිස රාජාංගණයේ ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී වෑන් රථයක් පස් කණ්ඩියක හා ගසක වැදී අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණා.
වෑන් රථයෙහි තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් අනතුරට හේතුව බවට පොලිසිය සැක පළ කරනවා.
මේ අතර, 23 දෙනෙකුට මරු කැදවූ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයට පෙරලී යාමෙන් පසුගියදා සිදුවූ මාරක අනතුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයක් ප්‍රකාශ කළ නොහැකි බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින්ම තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර අනතුරින් මිය ගිය බස් රථ රියදුරාගේ පශ්චාත් මරණ පරීක්ෂයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ.
අදාළ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් හත්දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.