පාකින් ටිකට් කැඩූ ජාවාරමක් හසුවෙයි
2025 August 11- Page Views : 1875
හබරාදූව, පීල්ලගොඩ වෙරළ උද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය සංචාරකයින්ගේ රථවාහන ගාල් කිරීම සඳහා මුදල් අයකළ පුද්ගලයින් තිදෙනෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හබරාදූව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් මෙලෙස වාහනවලින් මුදල් අයකර ඇති බව අනාවරණය වී ඇත.
උණවටුන සංචාරක පොලීසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ බස් රථයක් ගාල් කිරීම සදහා රුපියල් 1,500ක මුදලක් ද, කාර් වෑන් ඇතුළු අනෙකුත් රථවාහන ගාල් කිරීමට රුපියල් 1,000ක් ලෙස අයකර ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 35 සහ 41 යන වයස්වල පසුවන්නන් බව සඳහන්.
සැකකරුවන් හබරාදූව පොලීසිය වෙත භාර දී ඇති අතර, ඔවුන් අද (11) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.