මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරු සහ දියවඩන නිලමේවරයා ජනපති හමුවෙයි
2025 December 11- Page Views : 10
ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවත්, ඊට සිය ආශිර්වාදය පළ කරන බවත් මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරු පැවසුහ.
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිතදර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ඵෙතිහාසික බදුලු මුතියංගන රාජමහා විහාරයේ භාරකාර, ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ සහ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (11) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථවේදී මේ බව සඳහන් කළහ.
මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ජාවට ලක් විය.
ජනතාව නැවත පදිංචි කිරීම් කටයුතුවලදී දළදා මාළිගාවෙන් ලබා දිය හැකි දායකත්වය පිළිබඳ මෙහිදී දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරනු ලැබීය.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව විසින් 'Rebuilding Sri Lanka' අරමුදල වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්ද මෙහිදී පිරිනමන ලදී.