WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලංකාවට තවත් ණය එපා:එය දරා ගන්න බෑ

2025 December 12- Page Views : 29

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය අලුත්වැඩියා කිරීමට ලබාදෙන මුදල් ප්‍රදානයන් ලෙස ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාව දැනටමත් ණය බරින් පීඩා විඳිමින් සිටින මේ අවස්ථාවේ තවත් ණය ලබාගැනීම අපහසු කාරණයක් වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙනුවෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන රුපියල් කෝටි 1090 ක මුදලද ලබා දෙන්නේ ප්‍රදානයක් වශයෙන් බවත් එම මුදල මෙරට ණය බරට එකතු නොවන බවත් ඔහු පැවැසුවේය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රජාවන්ට ඉදිරි මාස හතර සඳහා අවශ්‍ය කඩිනම් ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය සහාය සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1090 ක් පමණ) මුදලක් අවශ්‍ය බව ඇස්තමේන්තු කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ප්‍රකාශ කළේය.

ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 9.5ක පමණ ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 300 ක් පමණ) මුදලක් දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලැබී තිබෙන බවද ඔහු පැවැසුවේය. එයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි අරමුදලෙන් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක මුදලද ඇතුළත් වන බව ඔහු කීය .

මෙම මුදල එක්සත් ජාතීන්ගේ සංවිධානය එකතු කිරීමට බලාපොරොත්තු වන්නේ යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට නොවන බවත් එය යොදා ගනු ලබන්නේ පීඩාවට පත් ජනතාවට ඉදිරි මාස තුන හතර කාලය සඳහා ජීවිතය රැක ගැනීමට අවශ්‍ය කඩිනම් සහාය සැපයීමට බවත් ඔහු කීය.

එම ජනතාවට අවශ්‍ය ජීවිතාරක්ෂක සහාය ලබාදීම ප්‍රමාද වුවහොත් ජනතාවට රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යා හැකි බවත් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රමාද විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. පසුව ඒවා ලබාදීමට යාමේදී රජයට මීට වැඩි මුදලක් දැරීමට සිදුවනු ඇති බවත් එය ඉතාමත් අපහසු වනු ඇති බවත් ඔහු පැවැසුවේය.