තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
2026 June 06- Page Views : 10
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම අද (06) පෙරවරු 11.30 සිට හෙට (07) පෙරවරු 11.30 දක්වා වලංගු වේ.
ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60-70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව එහි සඳහන්.
එමෙන්ම ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
මේ අතර හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ආසන්න ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.