Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වසන්ත කරන්නාගොඩට සිව්වන සිතාසියත්

|Mon, 24 February 2020|Miscellaneous| Page Views :

නියමිති දිනයට අධිකරණයේ පෙනී නොසිමීම හෙතුවෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට අද (24) සිව්වන වතාවටත් සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර ඇත.

2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියට අදාළව පවරා ඇති නඩුවේ දාහතර වන විත්තිකරු ලෙස නම් කර සිටින අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (24) දිනයේ අධිකරණයේ හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබුණි.

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මාර්ගයෙන් සිතාසියක් යොමුකරන ලෙස මහධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබේ.

එමෙන්ම අදාල සිතාසියේ පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් විත්තිකරු වෙත යොමු කරන ලෙසත් නියම කළේය.

ඊට අමතරව අදාළ සිතාසියේ පිටපතක් කරන්නාගොඩ මහතාගේ නිවසේ සිටින සේවකයෙකුට හෝ ඥාතියකුට භාර දෙන ලෙසත් එහි පිටපතක් ඔහුගේ නිවසේ ප්‍රසිද්ධ ස්ථානයක අලවන ලෙසත් විනිසුරුවරු නියම කර ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේ දී රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේදී විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට පොලිස්පතිවරයා සහ නාවික හමුදාපතිවරයා මාර්ගයෙන් සිතාසි බාර දීමට පියවර ගන්නා ලෙස ඉකුත් නඩු දිනයේ නියෝගයක් නිකුත් කල බව සදහන් කළේය.

මීට අදාළව නාවික හමුදාපතිවරයා විසින් සිතාසි භාර දීමේ ක්‍රියාවලිය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාව මගින් විත්තිකාර කරන්නාගොඩ මහතා තමන් යටතේ සේවය කරන අයකු නොවන බවත් ඔහුගේ ආයතන ප්‍රධානියා තමන් නොවන බවත් සඳහන් කර ඇතැයි පැවසීය.

කෙසේ වෙතත් සිතාසි භාර දීම සඳහා කරන්නාගොඩ මහතා පදිංචිව සිටින බැද්දගාන ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය ද එහි කිසිවකු නොසිටි බව කරුණු අනාවරණය වී ඇතැයි නාවික හමුදාපතිවරයා සිය වාර්තාව මගින් සඳහන් කර ඇතැයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පවසා තිබේ.

පොලිස්පතිවරයා විසින් ද වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එමගින් අදාල සිතාසිය ක්‍රියාත්මක කිරීමේ කාර්යය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යොමු කළ අතර එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරන්නාගොඩ මහතා පදිංචිව සිටින බැද්දගාන සහ කිරුළපන ප්‍රදේශයේ පිහිටි නිවෙස් වලට ගියද එහි කිසිවකු නොසිටි බවට කරුණු වාර්තා කර ඇති බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ පැවසීය.

මෙය ඉතා ඛේදජනක තත්ත්වයක් බව සඳහන් කර සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා නාවික හමුදාවේ අද්මිරාල් වරයෙකු වන විත්තිකාර කරන්නාගොඩ මහතා සොයා ගැනීමට නොහැකි වන තරමටම පොලිස්පතිවරයාගේ බුද්ධි සේවය දුර්වල ද යන ගැටලුව මතු වන බව සඳහන් කළේය.

විත්තිකාර කරන්නාගොඩ ඉකුත් 14 වනදා මෙම නඩුව කැඳවූ දිනයේ ප්‍රසිද්ධ පාසැලක උත්සවයකට සහභාගී වූ බවත් ඉකුත් 18, 19 සහ 20 වනදා යන දිනවල කොමිෂන් සභාවක් හමුවට ගොස් සාක්ෂි ලබාදී තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පවසා තිබේ.

මෙවැනි වාතාවරණයක් හමුවේ විත්තිකාර කරන්නාගොඩ සොයාගැනීමට නොහැකි යැයි පැවසීම ඛේදජනක තත්වයක් බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා ඇත.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ නාවික හමුදාවේ උසස් නිලයක් හෙබවූ දාහතර වන විත්තිකරු අධිකරණය මගහැර සිටීම සුළුවෙන් තැකිය නොහැකි කරුණක් බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණය සිය අප්‍රසාදය පළකරන බව කියා සිටි සභාපති විනිසුරුවරිය නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළේය.

අදාල විත්තිකරුට සිතාසි බාර දීමට නොහැකිවීම සම්බන්ධයෙන් පොලිසිය ලැජ්ජාවට පත්විය යුතු බව සභාපති විනිසුරුවරිය විවෘත අධිකරණයේ අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කරන ලද ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකාර කන්නාගොඩ මහතා වෙත 4 වන වතාවටත් සිතාසි නිකුත් කිරීමට නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂිකරුවන් 37 දෙනෙකුගේ ප්‍රකාශ වල පිටපත් විත්තිකරුවන් වෙත ලබාදීමට නියමිතව තිබෙන බවත් එම ප්‍රකාශ අඩංගු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබූ මුල් ලිපිගොනු ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත භාර දී තිබෙන බවත් මේ නිසා මෙම නඩුවේ කටයුතු අන්‍යාකාරයකින් අඩාලවීමේ අවදානමක් මතුව තිබෙන බවත් පැවසීය.

මේ හේතුවෙන් අදාළ ප්‍රකාශ යතුරුලියනය කර ගැනීම සඳහා ජනාධිපති කොමිසම වෙත භාර දී තිබෙන ලිපිගොනු නැවත ලබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නිකුත් කළ අතර එම නියෝගයේ පිටපතක් දැනගැනීම සඳහා අදාල ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කරන ලෙස නියම කළේය.

ඉන් අනතුරුව පැමිණිලි පාර්ශවය විසින් නඩුවට අදාළ ලේඛන ගණනාවක් විවෘත අධිකරණයේ දී විත්ති පාර්ශ්වයට භාර දෙන ලදී.

පසුව නඩුව නැවත මාර්තු මස 20 වනදා කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් දහතුන් දෙනා අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න