WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බස් එකේ යද්දී ඔලුව වදිනවා, ත්‍රීවීල් එක එලවද්දී වහලේ ඔලුව වදිනවා, සෙරෙප්පු ගෙන්න ගන්නේ පිටරටින් - ලංකාවේ උසම මිනිසා කියන කතාව

2024 May 05- Page Views : 78

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පුදුකුඩිඉරිප්පු කයිවේලි ගම්මානයේ ජීවත්වන ගුණසිංහම් ගජේන්ද්‍රන් ගේ උස අඩි 07 යි අඟල් 02 කි. ඔහු 45 හැවිරිදිය. මේ කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ උසම පුද්ගලයා ලෙස සැලකෙන ගුණසිංහම් ගජේන්ද්‍රන් ගේ කතාවයි.

තම ජීවිතයේ දෛනික කටයුතු සිදු කිරීමේ දී උස නිසා තමන්ට බොහෝ තැන්වලදී අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බව ගජේන්ද්‍රන් පවසා සිටියි. වෘත්තියෙන් මේ වන විට ත්‍රීරෝද රථ රියදුරකු වන ගජේන්ද්‍රන් දෙදරු පියෙකි. හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන ගුණසිංහම් ගජේන්ද්‍රන් පොළොන්නරුව කණ්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ පුනරුත්තාපනය ලැබු අයෙකි. ඔහුව කතාවට සම්බන්ධ කර ගනිමින් මුලින්ම ඔහුගේ සුවදුක් විමසුවෙමු. “කියන්න වරදක් නැහැ. හොඳින් ඉන්නවා.” ඔහු පවසයි. උස හේතුවෙන් තමා මුහුණ දෙන තත්වයන් හා සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ද, ඔහු මෙලෙස පවසා සිටියි.

“බස් රථවල ගමන් කරන විට මගේ උස නිසාම බලවත් අපහසුතාවයන්ට මුහුණ දෙනවා. බස් රථයේ හිටගෙන යාම අපහසු යි. බස් එකේ සෙනඟ පිරිලා හිටියොත් කවුරු හරි නැගිට්ටොත් තමයි සීට් එකක් ලැබෙන්නේ. දුරගමන්වල යෙදෙනවා නම් මම බස්රථයේ ආසන වෙන් කරගන්නවා. දැනට මං බස්වල ගමන් යනවා අඩුයි. බස්වල මැද සීට්වල ඉන්න බෑ. එක්කෝ පිටිපස්සේ සීට් එකේ නැත්නම් ඉස්සරහ සීට් එකේ තමයි මට යන්න පහසුම. එතකොට කකුල් දිග ඇරල ඉඳ ගන්න පුලුවන්.”

“මගේ රස්සාව ත්‍රීරෝද රථයෙන් පාසල් ළමුන් රැගෙන යාම සහ කුළී ගමන් යාමයි. මම ඒ රස්සාව කරන්නෙත් ගොඩක් අමාරුවෙන්. ත්‍රී රෝද රථය එළවගෙන යන විට එහි හැඬලය මගේ දණ හිසට වදිනවා. ඒ වගේම හිස වහලයට වදිනවා. ඒ වගේ අමාරු ඉරියව්වකින් ඉඳගෙන තමයි ත්‍රීරෝද රථය එළවන්න වෙන්නේ. ත්‍රී රෝද රථයේ වහලය උස් කරලා හදන්න බැලුවා. එහෙම කරන්න මිළ වැඩියි. දැන් තියෙන ආර්ථික තත්වය එක්ක මට ඒක දරන්නත් අමාරුයි.”

කෙසේ වුවද තමන්ගේ මෙම උස නිසා අයහපත් දේ සිදුවුවද, තමන් සමාජයේ කැපී පෙනෙන තරුවක් බවට ද පත් වී ඇති බව ඔහු සතුටින් පවසා සිටියි.

“ඒ වගේම තමයි මගේ උස වැඩි නිසා කකුල් දිගයි. පළලයි. ඒ නිසා මෙහෙ සපත්තු සෙරෙප්පු පාවිච්චි කරන්න බැහැ. පිටරට ඒවා තමයි ගෙන්න ගන්න වෙන්නෙ. ලංකාවේ තියෙන්නේ අඟල් 10 ක් ප්‍රමාණය වන සෙරෙප්පු. මට අඟල් 14 හා 15 ප්‍රමාණයේ සපත්තු සෙරෙප්පු තමයි ඕනෙ. මම පිටරට අඳුරන අය මාර්ගයෙන් ගෙන්න ගන්නවා. ඒ වගේම තමයි ඇඳුම් කඩවල තියෙන මහපු ඇඳුම් මට අඳින්න බැහැ. මම රෙදි අරන් මහලා තමයි කලිසම් කමිස අඳින්නෙ. සමහර ටී ෂර්ට් අඳින්න පුලුවන්.”

කුඩා වියේදීම තම මව හා පියා අහිමිව නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවා පාසල් අධ්‍යාපනය අතරමඟ නවතා දැමීමෙන් පසුව එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳුණු ගජේන්ද්‍රන්, තම දිවියේ අමිහිරි අතීත කතාව පිළිබඳව මතකය අවදි කළේ මෙසේය.

“මගේ ගම පුදුකුඩිඉරිප්පු. මම පුංචි කාලයේ දීම මගේ අප්පා මැලේරියා උණ හැදිලා නැතිවුණා. එයින් මාස කීපයකට පස්සේ අම්මා වෙන කසාදයක් කරගෙන මටත් නොදන්වාම යන්න ගියා. අම්මා මාව දාලා යනකොට මට වයස හතරක් ඇති. ඉතිං මාව කුඩා කාලයේ ඉඳලාම බලා ගත්තේ මගේ ආච්චි අම්මා. ආච්චි අම්මාට ගොඩක් වයස වුණාට මාව එක වේලක්වත් බඩගින්නේ තිබ්බේ නැහැ. මගේ බඩ පිරෙව්වා. අසනීපයක් උණාම බෙහෙත් ගේන්න මාව උස්සන් ගියා. ආච්චි අම්මා තමයි මාව ඉස්කෝලේ යැව්වේ. මම ඉස්කෝලෙ ගියේ යාපනය තලගලප්ප මහා විද්‍යාලයට. ආච්චි අම්මයි මමයි ඒ දවස්වල ජීවත් වුණේ පිටරට ඉඳලා මගේ මාමා එවන මුදල් වලින්. මම ඉස්කෝලේ තුන වසරේ ඉද්දි මගේ ආච්චි අම්මා අන්ත්‍රා වුණා. ඊට පස්සේ මම තනි වුණා. ඉස්කෝලෙ ඉගෙනීමත් නැති වුණා. මම කාත් කවුරුවත් නැති අනාථයෙක් වුණා. මම පාර දිගේ ඇවිද්දා. කඩවල් වලින් දෙන දෙයක් කාලා කඩ පිළේම නිදා ගත්තා. මිනිස්සුන්ගෙන් බැණුම් ඇහුවා. ඒත් මම ජීවත් වුණා.”

ඔහු සුසුමක් හෙළමින් තම ළමා කාලය ගැන කියා සිටියි. එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වුණේ කෙහොම ද? ඊළඟට මගෙන් පැනයකි.

“මම පාරේ ඇවිදමින් ඉන්න දවස්වල වාහන පේළියක් ගියා. ඒ වාහන පේළිය ගියාට පස්සේ තරුණයන් දෙන්නෙක් ඇවිත් මගෙන් ප්‍රශ්න ඇහුවා, අම්මා තාත්තා නැද්ද? ඉස්කෝලෙට යන්නෙ නැද්ද වගේ ඒවා. මමත් ඒ අහන ප්‍රශ්න හැමදේටම උත්තර දුන්නා. ඒ අයත් එක්ක යන්න කැමතිද ඇහුවා. මම කැමති වුණා. ඒ ආපු තරුණයන් දෙදෙනා මාව එක්ක ඇවිත් ළමයි කීප දෙනෙක් හිටපු ගෙදරක වැඩිහිටියෙකුට බාරදුන්නා. එතන දී මට අලුත් ඇඳුමක් ලැබුණා. මිතුරන් ලැබුණා. ටික දවසක් ගියාට පස්සේ තමයි මම දැන ගත්තේ ඒ ළමා නිවාසය එල්.ටී.ටී.ඊ සංවිධානයේ එකක් කියලා.”

“එදා ඒ ගිය වාහන පේළියේ ප්‍රභාකරනුත් ගිහින් තියෙනවා. එයා මාව දැකලා එතන හිටපු තරුණයන් දෙදෙනාට කියපු නිසා තමයි මාව ඒ ළමා නිවාසයට අරගෙන ගිහින් තියෙන්නෙ. මාසෙකට සැරයක් ප්‍රභාකරන් අපි හිටපු ළමා නිවාසයට ඇවිත් අපේ දුක සැප සොයලා බැලුවා. එයා එනකොට අලුත් ඇඳුම් ටොපි චොකලට් වගේ දේවලුත් ගෙනවිත් දෙනවා. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ ප්‍රභාකරන් අපිව බලන්න ආවහම මම ගැන විශේෂයෙන් සොයා බැලුවා. මමත් එක්ක කතා කලා. ඒ ළමා නිවාසයේ ළමයි ඉස්කොලවලට ගියේ නැහැ. ඒත් ළමා නිවාසයටම ගුරුවරු ඇවිත් අපිට ඉගැන්නුවා.

ගුණසිංහම් ගජේන්ද්‍රන් අලුත් ලෝකයක් දුටුවේය. ඒ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ලෝකයයි. ඊට එහා ඔහුට ලෝකයක් නොතිබිණි. ගජේන්ද්‍රන්ගේ සෙල්ලම් කාළය අවසන් විය. ඔහු වැඩිවියට පත්වුණේය. මසට හදන බ්‍රොයිලර් කුකුලන් මෙන් මොවුන්වද එල්.ටී.ටී.ඊ සංවිධානය උස්මහත් කරන්නේ යුද්ධයට දැමීමට බව ඔවුන් කුඩා කළ දැන නොසිටින්නට ඇත. ගජේන්ද්‍රන්ට සංවිධානයෙන් අලුත් නමක් ලැබිණි. ඒ මාලන්ය. ඔහුට ප්‍රභාකරන්ගෙන් විශාල ගිනි අවියක් ලැබිණි. බෙල්ලට සයනයිඩ් කරලක් එල්ලන ලදි. මාලන්ගේ අසාමාන්‍ය උස හා රූප ස්වභාවය නිසාම එල්.ටී.ටී.ඊ සංවිධානය තුළ ඔහු සුවිශේෂි චරිතයක් විය.

“එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට විවාහ වෙන්න අවසර ලැබුණේ අවුරුදු තිහ සම්පූර්ණ වුණාම. මට කසාද බඳින්න අවසර ලැබුණා. මම කසාද බැන්දෙත් එල්.ටී.ටී.ඊ සාමාජිකාවක්. මම මුල් කාලයේ දී යුද මෙහෙයුම්වලට සහභාගි වුණේ නැහැ. ඒත් යුද්දේ අවසන් කාලයේදී අපිවත් යුද මෙහෙයුම්වලට යවනු ලැබුවා. පෙර පිනකට මට කිසිම අනතුරකට මුහුණ දෙන්න වුණේ නැහැ. මම අන්තිම කාලේ වෙනකම් එල්.ටී.ටී.ඊ සංවිධානයත් සමඟ ඉඳලා පස්සේ හමුදාවට බාර වෙන්න තීරණය කළා.”

සමාජයෙන් සැඟවුණු ත්‍රස්තවාදියෙකු ලෙස සැඟවී සිටි ගුණසිංහම් ගජේන්ද්‍රන්, මෙතරම් උස මිනිසෙකු අප රටේ සිටිනවාද යන්න සමාජය දැන ගත්තේ හමුදාවට බාර වීමෙන් පසුවය. පසුව පොළොන්නරුව කණ්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය ලැබු ගුණසිංහම් ගජේන්ද්‍රන් වසර හතරකට පසුව නිදහස ලැබීය. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී වඩුකාර්මික පාඨමාලාවක් හැදෑරූ ගුණසිංහම් ගජේන්ද්‍රන් මුල දී වඩු කාර්මිකයෙකු ලෙස රැකියාව කළේය. පුනරුත්ථාපන මධ්‍යස්ථායේ දී වුවද, ඔහුගේ විශේෂ ශරීර ස්වභාවය නිසා හා වොලිබෝල් ක්‍රීඩාවට ඔහු දැක්වූ දක්ෂතාවය නිසා නිලධාරින්ගේ සිත් දිනාගැනීමට හැකිවිය.

“මම ක්‍රීඩා කරන්න කැමති. මම එල්.ටී.ටී.ඊ සංවිධානයේ වොලි බෝල් කණ්ඩායමේත් සාමාජිකයෙක් වෙලා හිටියා. ඒත් දැන් මට කිසිම ක්‍රීඩාවක් කරන්න බැහැ. මහන්සි වෙන දෙයක් කළොත් පපුව හිරවෙලා හුස්ම ගන්න අපහසු වෙනවා. මට වැඩිය මහන්සි වෙන දේවල් කරන්න එපා කියලා වෛද්‍යවරු උපදෙස් දීලා තියෙනවා. පුනරුත්තාපනය වෙලා ඇවිත් මං කුකුල් ගොවිපලක් පටන් ගත්තා. නමුත් සුද්ද පවිත්‍ර කරන්න ගියාම මගේ කකුලේ තුවාල ආසාදන ඇතිවෙනවා. ඒ නිසා ඒ වැඩේ නතර කර දැමුවා.”

ගුණසිංහම් ගජේන්ද්‍රන් ජීවත්වන ප්‍රදේශයේ දී තම උස නිසා විශේෂ පිළිගැනීමක් නොලැබුණද, සිංහල ජනතාව සිටින ප්‍රදේශයන්ට ගිය විට තමන්ට හොඳ පිළිගැනීමක් ලැබෙන බව ගජේන්ද්‍රන් ප්‍රකාශ කර සිටින්නේ, ඉතාමත් සතුටිනි. සමහරු තමන් සමඟ ඡායාරූපවලට පෙනී සිටීමට ද කැමැත්තක් දක්වන බවත් ඉල්ලීම් කරන බවත් සඳහන් කරයි.

“මගේ ගම් පළාතේ එහෙම බැංකුවල, ඉස්පිරිතාලයට එහෙම එදිනෙදා වැඩ කරගන්න ගියාම, ආයතනවල වැඩ කරගන්න ගියාම සාමාන්‍ය ලෙස මට පෝලිම්වල ඉන්න සිදුවෙනවා. නමුත් කොළඹ, නුවර, ගාල්ල වගේ සිංහල ජනතාව සිටින ප්‍රදේශවල රෝහල්වලට ගියාම කොච්චර මිනිස්සු පෝලිම්වල හිටියත් මට ප්‍රමුඛත්වය ලැබෙනවා. මිනිස්සු මට කතා කරලා ඉස්සරහට යවනවා. මට ගොඩක් වෙලා හිටගෙන ඉන්නත් අමාරුයි. මිනිස්සු මට ඉක්මනින්ම හිතවත් වෙනවා. පාරේ යද්දි මට හිතවත්කමින් කතා කරනවා. මං එක්ක ඉඳලා ඡායාරූප ගන්නවා. දැන් මට ගොඩක් දේවල් තේරෙනවා. මට යුද්ධයක් අවශ්‍ය නැහැ. හැමෝටම මේ රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවන් දෙන්නා හොඳට උගන්නගෙන සතුටින් ජීවත් වෙන්නයි මට ඕනේ.”

“මම දැන් උත්සාහ කරන්නේ, පාසලට ළමුන් රැගෙන යන රස්සාව කරන්න වෑන් රථයක් මිලදී ගන්නයි. එතකොට මගේ රස්සාව කරන්න පාසල් ළමුන් වැඩිපුර එකතු කර ගන්නත් පුළුවන්. වෑන් රථය පදවන විට මගේ ශරීරය තියා ගන්න ඉරියව්වෙත් යම් පහසුවක් දැනෙනවා.”

ශ්‍රී ලංකාවේ උතුරුකරයේ යුද්ධයෙන් පසුව නිර්මාණය වූ සමාජය තුළ උතුරේ මිනිසුන් අසරණ තත්වයට පත්වූහ. ඔවුන් ජීවිතය ගැට ගසා ගැනීමට වගාවන්, ස්වයං රැකියාවන් තෝරා ගත්හ. කෙසේ වුවද උතුරේ මිනිසුන් විශේෂ වන්නේ කඳුළු පිසදා නැගී සිටීමට වෙර දරන්නන් නිසාමය. ගුණසිංහම් ගජේන්ද්‍රන් ගේ උත්සාහය සඵල වීමට අප ප්‍රාර්ථනා කරමු.