WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි

2024 May 08- Page Views : 10

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැද ඊශ්‍රායලය, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දීමට සූදානම් වන බැවිනි.

රෆා යනු ගාසා තීරයේ දකුණු දෙසින්, ඊජිප්තුවට මායිම්ව පිහිටින නගරයයි. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දීම ආරම්භ කළේය.

ඊශ්‍රායල හමුදා ගුවනින් සහ ගොඩබිමින්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, උතුරු දිග ගාසා තීරයේ සිටි පලස්තීන වැසියන් දකුණු දිග ගාසා තීරයේ රෆා නගරයට ගියේය. දැන් ගාසා වැසියන් මිලියන 1.3 ක්, සරණාගතයන් ලෙස ජීවත් වන්නේ රෆා නගරයේය.

ඊශ්‍රායලය පවසා ඇත්තේ රෆා නගරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයෙන් ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බවය. මේ වනවිටත් ඊශ්‍රායල හමුදා විටින් විට රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීම සිදු කරයි.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් අවස්ථා කීපයකදී ඉල්ලා ඇත්තේ රෆා නගරයට පහර දීමෙන් වළකින ලෙසය. රෆා නගරයට පහර දුන්නොත්, මහා විනාශයක් සිදුවේවි යැයි ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් බිය පළ කර ඇත. ඊශ්‍රායලයට යැවීමට සූදානම් කළ බෝම්බ තොගය, තාවකාලිකව ඊශ්‍රායලය යැවීම නැවැත්වීමට ඇමෙරිකන් රජය තීරණය කළේ මේ නිසාය.