නෙතන්යාහු ට අමාත්‍යවරයෙක්ගෙන් වාග් ප්‍රහාරයක්
2024 May 16- Page Views : 10
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝඅව් ගැලන්ට් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ට එරෙහිව ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
එයින් හෙළිවන්නේ ගාසා යුද්ධය සහ යුද්ධය අවසන්වීමෙන් අනතුරුව ගාසා හි පාලනය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැතිවරයා සහ යුද කැබිනට් මණ්ඩල සාමාජිකයින් අතර පරස්පර මත මතුවෙමින් ඇති බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති.
ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් පවසන්නේ යුද්ධය අවසන්වීමෙන් අනතුරුව ගාසා තීරයේ හමුදාමය හෝ සිවිල් පාලනයක සියතට ගැනීමට ඊශ්‍රායලයට සැලසුමක් නොමැති බව ප්‍රසිද්ධියේ පවසන ලෙසයි.
"මම මේ සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට කැබිනට් මණ්ඩලයේදී විමසුවා. හැබැයි මට තවම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ...", ගැලන්ට් පැවසීය.
ඒ සම්බන්ධයෙන් නිසි තීරණයක් නොගතහොත් ගාසා තීරයේ ඇතිවිය හැක්කේ ඊශ්‍රායල හමුදා පාලනයක් හෝ හමාස් පාලනයක් බව ඔහුගේ අදහසයි.
නමුත් සිය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයා පැහැදිලි ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොමැති බව වාර්තා වෙයි.