චෙක් ජනරජයේ දුම්රිය අනතුරක්
2024 June 06- Page Views : 10
චෙක් ජනරජයේ මගී ප්‍රවාහන දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් සිව් දෙනකු මියගොස් 23 දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
දුම්රිය අනතුර ඊයේ (5) රාත්‍රියේ සිදුව ඇති බවත් තුවාල ලැබූ 23 දෙනාගෙන් තිදෙනකු බරපතළ තුවාල ලබා ඇති බවත් චෙක් බලධාරීහු පැවැසූහ. ප්‍රාග් නගරයේ සිට නැගෙනහිර දෙසට දිවයන ප්‍රධාන දුම්රිය මාර්ගයේ පාර්ඩුබිස් නගරය ආසන්නයේදී මෙම දුම්රිය අනතුර සිදුව ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය විට් රකුසාන් ප්‍රකාශ කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 300 ක් පමණ ගමන් කර ඇති බවත් රේජියෝජෙට් සමාගම යටතේ ධාවනය වී ඇති මෙම දුම්රිය ප්‍රාග් නගරයේ සිට බටහිර යුක්රේනයේ චොප් නගරය වෙත ධාවනයවී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.දුම්රිය අනතුරෙන් අවම වශයෙන් මගී දුම්රියේ එක් මැදිරියක් මාර්ගයෙන් ඉවතට පැන ඇති බවත් ඉදිරියේදී තුවාල ලැබූ සහ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අනතුරට හේතුව තවමත් අනාවරණයවී නොමැති බවත් ඒ පිළිබඳ සෙවීම සඳහා විමර්ශන කණ්ඩායමක් පත්කරන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.