WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අරාබි මුහුදේ පෙරළුණු නෞකාවේ අභිරහස

2024 July 18- Page Views : 10

අරාබි මුහුදේදී අනතුරට ලක්වූ ප්‍රෙස්ටීජ් ෆැල්කන් නෞකාවේ සිටි 9 දෙනෙකු ආරක්ෂිතව මුදාගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත්වී තිබුණි.

මුදාගත් පිරිස අතරින් අයෙක් ශ්‍රී ලාංකිකයෙක් වන අතර ඔහු අනතුරට ලක්වූ නෞකාවේ දෙවැනි නිලධාරී කුගනේසන් මහේසදාසන් ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කළේ, මුදාගත් ශ්‍රී ලංකිකයා ඩියුකම් හි රෝහලකට ඇතුළත් කර ඇති බවය.

ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර සෙසු පිරිස පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි.

එමෙන්ම අතුරුදන් වූ පිරිසෙන් තවත් අයෙකුගේ මළ සිරුරක් ද සොයා ගෙන ඇති අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ, තවදුරටත් සිදුකෙරෙන මෙහෙයුම් සඳහා අරාබි මුහුද ආශ්‍රිතව පවතින රළු මුහුද සහ අධික සුළඟේ වේගය ඇතුළු අයහපත් කාලගුණය දැඩි බලපෑම් එල්ල කර ඇති බවය.

නෞකාවේ කපිතාන් වෛතියකුමාර්ගේ ඥාතීන් ඊයේ (17) රාත්‍රීයේ බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබුණි.

අද දෙරණ කළ විමසීමකදී කපිතාන්වරයාගේ දියණිය පැවසුවේ, පියාගේ දුරකථනයට නාඳුනන භාෂාවකින් කිසියම් පුද්ගලයෙකු ප්‍රතිචාර දක්වන බවය.

කොමොරෝස් ධජය යටතේ යාත්‍රා කළ ප්‍රෙස්ටීජ් ෆැල්කන් නමැති මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව ඕමාන මුහුදේ දී අනතුරට ලක්වන්නේ, පසුගිය 15 වනදා රාත්‍රී 10ට පමණය.

ඒ ඕමානයේ ඩියුකම් වරාය නගරයට නාවික සැතපුම් 25ක් නිරිත දිගින් වූ අරාබි මුහුදේදීය.

ඩුබායිහි හම්රියා වරායෙන් ගමන් ඇරඹූ නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේදී යේමනයේ ඒඩ්න් වරාය බලා යාත්‍රා කරමින් පැවතුණි.

නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේදී කාර්යමණ්ඩල සේවකයින් 16 දෙනෙකු සිටි අතර ඔවුන් සියලු දෙනාම අනතුරින් අතුරුදන්ව තිබුණි.

ඒ අතරින් තිදෙනෙකු ශ්‍රී ලාංකිකයින්ය.

ඔවුන් නෞකාවේ කපිතාන්වරයා ලෙස සේවය කළ වෛදියකුමාර් කදිරගාමදාසන්, ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස සේවය කළ දයානිති අප්පසාමි සහ දෙවන නිලධාරී කුගනේසන් මහේසදාසන් ය.

අනතුර පිළිබඳව සැලවීමත් සමග ඕමාන බලධාරීන් සහ සුමුද්‍රීය ආරක්ෂක නිලධාරීන් අතුරුදන් පිරිස සොයා ආරම්භ කළ මෙහෙයුම දියත්වුණේ ඉන්දීය නාවික හමුදාවේ ද සහාය ඇතිවය. ඒ INS තේජ් යුද නෞකාව භාවිතයෙනි.