WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශයේ රැඳී සිටින ලාංකික සිසුන්ගේ තත්ත්වය

2024 July 20- Page Views : 10

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එරට රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එරට විශ්වවිද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බව අමාත්‍යංශය පෙන්වා දී තිබේ.

බංග්ලාදේශයේ ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දමා තිබුණ ද විදේශීය සිසුන්ට එරටින් ඉවත් වන ලෙස දැනුම් දීමක් සිදුකර නොතිබීම හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන් ආරක්ෂිතව නේවාසිකාගාර තුළ රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එම සිසුන් හමුවී පෞද්ගලිකව ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව එම විශ්වවිද්‍යාලවල පාලනාධිකාරිය සමග ද සාකච්ඡා කර ඇත.

රජයේ රැකියා කෝටා ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට බලකරමින් සිසුන් මූලික කරගත් විරෝධතා උත්සන්න වීම හේතුවෙන් මේ වන විට බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.

විරෝධතාකරුවන් සහ පොලීසිය අතර හටගත් ගැටුම් හේතුවෙන් මේ වන විට මරණ 105ක් වාර්තා වී ඇති අතර ඊයේ (19) දිනයේ පමණක් විරෝධතාකරුවන් 52 දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග හමුදා භට කණ්ඩායම් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැඳවා ඇති නමුත් සිය විරෝධතා අඛණ්ඩව සිදුකරන බවට ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.

විරෝධතාකරුවන් මරණයට පත්වීම සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් පවසයි.