WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පියාගේ විමසිලිමත් බව නිසා මාරාන්තික රෝගයෙන් පුතාගේ දිවි බේරෙයි

2024 July 30- Page Views : 10

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වැසියෙක් වන 14 හැවිරිදි අෆ්නන් ජාසිම් සිය නිවස අසල තිබු ජලාශයක පිහිනීම සඳහා ගියේය.

නමුත් ඉන් දින කිහිපයකට පසුව ඔහු දැඩි ලෙස රෝගාතුර විය.

ඔහුට වැළඳී තිබුණේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ රෝගී තත්ත්වයකි.

එනම් මොළයේ සෛල විනාශ කරන ඇමීබා ආසාදනයක් ඔහුට වැළඳී තිබුණි.

Naegleria fowleri ලෙස හැඳින්වෙන එම ඇමීබාවා ඔහු පිහිනීමට ගිය ජලාශයේ සිටින්නට ඇතැයි සැලකෙයි.

එය මිනිසාගේ ස්වසන මාර්ගය ඔස්සේ සිරුරට ඇතුළු වී හිස් කුහරයට ඇතුළුවී මොළයේ සෛල විනාශ කරන බව වෛද්‍යවරු පෙන්වාදෙති.

එම ආසාදනය ඇතිවූ විට මරණ ප්‍රතිශතය 97%ක් බව වෛද්‍යවරු පවසති.

වෛද්‍යවරු පවසන්නේ ජාසිම් ගේ පියා ගේ දැනුම ඔවුන්ට මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීමට ඉවහල් වූ බවයි.

ඔහු එම රෝගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ කියවා තිබුණි.

1971 සිට 2023 දක්වා වාර්තාවී ඇති දත්ත අනුව මෙම ආසාදනය වැළඳී ජීවිතය බේරී ඇත්තේ 8 දෙනෙකුගේ පමණි. එම තොරතුරු වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, මෙක්සිකෝව සහ පාකිස්තානයෙනි.

හිසරදය, උණ, ඔක්කාරය, වමනය, ව්‍යාකූලත්වය, බෙල්ල තදවීම, සමබරතාවය නැතිවීම එහි රෝග ලක්ෂණ වෙයි.

පිහිනීමට ගොස් දින 5කට පසුව ජාසිම් ට රෝග ලක්ෂණ පහළවී තිබුණි. නමුත් ආරම්භයේදී වෛද්‍යවරුන්ට ඔහුගේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමට හැකිවී නොමැත.

ඔහු ගේ පියා වන 45 හැවිරිදි සිද්දික් කිරි ගොවියෙකි. ඔහු සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නිරතුරුවම කියවීමට පුරුදුව සිටි අයෙකි.

ඔහු එම ආසාදනය ගැනත් කියවා තිබුණි. විශේෂයෙන්ම තම පුතා ට මෙම රෝග ලක්ෂණ පහළ වූයේ පිහිනීමට ගොස් දින කිහිපයකින් බව ඔහුගේ සිහියට නැගුණි.

ඔවුන්ගේ වාසනාවට ඔවුන්ට තුන්වැනි වතාවට හමුවූ වෛද්‍යවරයා - වෛද්‍ය අබ්දුල් රවුෆ් - එම රෝගය ගැන දැනුම්වත් ව සිටි අයෙකි.

දරුවා ගේ පියා ලබාදුන් තොරතුරු අනුව ක්‍රියාත්මක වූ වෛද්‍යවරයා ට පැය 24 යෑමටත් මත්තෙන් ඔහුගේ ආසාදනය හඳුනා ගැනීමට හැකිවිය.

ජීවිතයත් මරණයත් අතර දින කිහිපයක් සටන්කළ ජාසිම් මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා සිටියි.

නමුත් ඔහු මුහුණදුන් අත්දැකීම ජාසිම් ගේ සිතුම් පැතුම් පවා වෙනස් කර තිබේ.

ඔහු පවසන්නේ තම ජීවිතය බේරීමට හෙද කාර්ය මණ්ඩලය විශාල වශයෙන් කැපවුණු බවයි.

එබැවින් අනාගතයේ රෝගීන් ට සේවය කිරීම සඳහා හෙද උපාධියක් හැදෑරීම ඔහුගේ අභිප්‍රාය වී තිබේ.