WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට විකුණයි

2024 September 18- Page Views : 36

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ "පල්මියෙරි විලා" ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තීරණය කර ඇත.

ඉතාලියේ දේපළ වෙළඳාම් සමාගමක් වන ඩ්‍රීමර් රියල් ස්ටේට් වෙත "පල්මියෙරි විලා" විකිණීමේ වගකීම පැවරී තිබේ.

ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයට ආසන්නයේ කඳුකරයේ පිහිටි පල්මියෙරි සංචාරක නිවහන ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨතම නිර්මාණයක් ලෙසද සැලකෙන අතර පල්මියෙරි සංචාරක නිවහන මිලදී ගන්නෙකුට බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයෙන් කොටසකට උරුමකම් කීමට හැකියාව ලැබෙනු ඇත.

වික්ටෝරියා රැජින බ්‍රිතාන්‍ය රජ කිරුල හෙබවූවත් ඉතාලියේ සුන්දරත්වය සහ සන්සුන්භාවයට බෙහෙවින් ඇලුම් කර ඇති අතර 1888 වසරේදී ප්‍රථම වරට ඇය පල්මියෙරි සංචාරක නිවහනට පැමිණ තිබේ. පල්මියෙරි සංචාරක නිවහනේ වටපිටාවට වික්ටෝරියා රැජිනගේ සිත් ඇද බැඳ තබා ගැනීමට හැකිවීම හේතුවෙන් එම අවස්ථාවේදී ඇය මාසයක නිවාඩු එහි ගත කර ඇත.

ඇය නැවත වරක් 1893 සහ 1894 වසර වලදීද නිවාඩුවක් ගත කිරීම සඳහා පල්මියෙරි සංචාරක නිවහනට පැමිණ තිබිණි. සිය රාජකීය වගකීම් වලින් මොහොතකට මිදී උතුරු ඉතාලියේ ස්වභාව සෞන්දර්ය අත් විඳීම පල්මියෙරි සංචාරක නිවහන කදිම අවස්ථාවක් ලබාදී ඇතැයිද පැවැසෙයි.

වික්ටෝරියා රැජින පල්මියෙරි සංචාරක නිවහනේ නවාතැන් ගැනීම සැමරීම සඳහා එහි ගෙවත්තේ තිබෙන ගස්වල නාම පුවරු එල්ලා ඇති අතර ඒවා අදටත් දැකගත හැක.

පල්මියෙරි සංචාරක නිවහන වික්ටෝරියා රැජිනගේ නිවසින් පිට නිවහන වී ඇති බවත් ඇයගේ නිවසේ තිබු පහසුකම් සියල්ල පල්මියෙරි සංචාරක නිවහනේද තිබී ඇති බවත් පැවැසෙයි. පල්මියෙරි සංචාරක නිවහනේ පළමු මහලේ වික්ටෝරියා රැජිනගේ පුද්ගලික මහල් නිවාසය පිහිටා ඇත. එම මහල් නිවාසය වින්ඩ්සර් මාළිගය විසින් සරසා ඇති අතර එහි තිබූ ගෘහ භාණ්ඩ සියල්ල, නාන කාමර උපාංග සහ ඇඳ වික්ටෝරියා රැජින විසින් එංගලන්තයේ සිව ඒවා ඇති බවද පැවැසෙයි.