WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හලාවතින් ඇසෙන හද සසල කරන කතාව මෙන්න..

2024 October 21- Page Views : 37

පවුලේ ඔවුන්ට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි.

හලාවත නගරය ආසන්නයේ සමිදුගම මාර්ගයේ පිහිටි නිවසක් ගිනි ගැනිමෙන් නිවසේ සිටි මව, පියා හා දියණිය මියගොස් තිබෙනවා මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 වූ සමිදුලාගේ ගෙදර සේනාරත්න, වයස අවු. 43 වූ මුහන්දිරම්රාලලාගේ මංජුලා නිරෝෂණී බණ්ඩාර සහ වයස අවු. 15 වූ නෙත්මි නිමේෂා සෙනරත් බණ්ඩාර දියණියයි.

ඊයේ උදෑසන 5.30ට පමණ මියගිය අය පදිංචිව සිටි දෙමහල් ගොඩනැඟිල්ලේ පහත මහලේ ගිනි ගන්නා අයුරු දැක ප්‍රදේශවාසීන් විසින් හලාවත පොලිසියට දැනුම් දී තිබෙනවා අනතුරුව හලාවත පොලිසිය ප්‍රදේශවාසීන් හා හලාවත නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය ගින්න මැඬපැවැත්වීමට කටයුතු කර ඇති අතර, පැයකට ආසන්න කාලයක් මහත් පරිශ්‍රමයක් යොදා නිවසට ඇතුළු වීමට හැකිවන පරිදි ගින්න නිවාදැමීමට කටයුතු කර තිබෙනවා හඳුනාගත නොහැකි ලෙස මවගේ සිරුර නිවසේ කාමරයක් තුළ තිබී හමුවී ඇති අතර සිරුරේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල දක්නට තිබුණ බවටයි වාර්තා වෙන්නේ ඇඳ ආසන්නයේම තියුණු ආයුධයක් තිබී හමුවී තිබෙනවා.

දරුණු ලෙස පිලිස්සී තිබූ පියාගේ සහ දියණියගේ මළ සිරුරු නිවසේ සාලයේ පුටුවක් මත තිබී හමුවී ඇති අතර, මෙම සිරුරු හඳුනා ගත නොහැකි ලෙස පිලිස්සී තිබෙනවා මියගිය පියා හලාවත නගරයේ ඉඩම් විකිණීම සම්බන්ධව පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, මව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව මුන්නේෂ්වරම ග්‍රාමසේවා වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය ලෙස සේවය කර තිබුණා දියණිය හලාවත ජාතික පාසලේ 10 වසරේ සිසුවියක්.

මේ සිද්ධිය සම්බන්ධව හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත අමරතුංගගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකය ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

සිද්ධිය සැලවීමත් සමග මාදම්පේ ආරච්චිකට්ටුව, මාරවිල, තොඩුවාව යන පොලිස් ස්ථානවල නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධව විමර්ශන කටයුතු සිදු කරන බවටයි වාර්තා වෙන්නේ.

ගිනි ගැනීමෙන් පසු එම ස්ථානයට පැමිණි පුද්ගලයකු ඒ ගැන මෙවැනි අදහසක් පළකර තිබුණා.

"අපි ගිනි ගන්න සිද්ධිය දැකල එම ස්ථානයට දුවගෙන එද්දී කළු දුමාරයෙන් වැහිල තිබුණේ කට්ටිය වහල තිබුණ දොර කඩල තමයි නිවසට ඇතුළු වුණේ. බොහොම අමාරුවෙන් ගින්නයි දුමාරයයි තියෙන කොට ඇතුළට ගියේ ඒ එක්කම ගිනි නිවන ඒකකය ඇවිත් වතුර ගැහුවට පස්සෙ තමයි අපිට ටිකක් හරි හොයාගන්න පුළුවන් වුණේ මුලින්ම දැක්කෙ සාලයේ සෙටිය උඩ තාත්තයි දුවයි පිලිස්සිලා ඉන්නවා දැක්කා. ඒ දෙන්නා අඳුර ගන්න බැරි තරමට පිලිස්සිලා තිබුණෙ. අනික් පුටුවල කවර එයාලගෙ ඇඟට දාලා පලුස්සලා වගේ. කාමරයක ඇඳ උඩ කාන්තාවගෙ සිරුර දැක්කා. එයාගෙ සිරුරත් හොඳටම පිලිස්සිලා. මළ සිරුර හොයාගන්න බැරි තැනටම පිච්චිලා. මේ වගේ දෙයක් ඇයි මෙහෙම කළේ මේකට හේතුව කුමක්ද කියලා අපට තාමත් හිතන්න බෑ. අපි සියලු දෙනාම හරිම දුකින් වේදනාවෙන් තමයි ඉන්නේ."

මියගිය සේනාරත්න යන අයගේ සහෝදරයකු පැවසුවේ ඒ ගැන මෙවන් කතාවක්.

"මම පවුලේ දෙවැනියා. අපේ පවුල නව දෙනෙක් ඉන්නවා. සහෝදරියො තුනයි. සහෝදරයො හයයි. මිය ගිහිල්ල ඉන්නෙ මගේ මල්ලි. මෙයා පවුලෙ අටවැනියා. අපේ පවුලට හරි හයියක් තිබුණා අපේ මල්ලිගෙන්. අපේ ගම නිකවැරටිය. මල්ලි අපිත් එක්ක ජීවත් වුණේ. බැන්දට පස්සේ මීට අවුරුදු දාහතකට පමණ පස්සේ තමයි හලාවතට ආවේ. එයා එක එක රැකියා කරල අන්තිමට මේ ඉඩම් විකිණීම සම්බන්ධ ආයතනයක් පවත්වාගෙන ගියා. එයා නංගිටත් හරි ආදරෙන් හිටියේ. මේ ගෙදර ප්‍රශ්නයක් නම් තිබුණේ නැහැ අපි දන්න විදිහට. ඉතින් ඒ දුවත් ඉගෙන ගන්න දක්ෂයි. අපිට පුළුවන් වෙලාවට මෙහෙ ඇවිල්ලා යනවා. මට මේ ආරංචිය ලැබුණු වෙලාවේම විශ්වාස කෙරුවෙත් නෑ, එහෙම දෙයක් වෙන්ඩ කිසිම හේතුවක් තිබුණෙත් නෑ. ඇත්තෙන්ම අපිට හරිම දුකයි මේ සිද්ධිය ගැන. මේක නිකං හීනයක් වගේ. මං හිතන්නේ පොලිසිය මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වලා ඉක්මනින්ම මේ සිද්ධිය සොයා ගනියි කියල විශ්වාසයි.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත අමරතුංග,

සිද්ධිය වාර්තා වූ විගස එම ස්ථානයට ගොස් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදීමට කටයුතු කළා. ගිනි නිවන ඒකකය, පොලිසිය සහ අසල්වාසීන් මැදිහත්වී ගින්න පැතිරී යෑම වළක්වා ගත්තද පියාගේ සහ එම දැරියගේ මළසිරුරු හඳුනාගත නොහැකි අන්දමින් පිළිස්සී ගොස් තිබුණා. කෙසේ වෙතත් කාන්තාවගේ සිරුර හඳුනාගත හැකි තත්ත්වයේ තිබුණි. කාන්තා සිරුරේ ගෙල ප්‍රදේශයේ සුළු තුවාල දක්නට ලැබුණා. මෙම ඝාතන නිවස තුළින්ම සිදු වූවාද යන්න සැක සහිතයි. කෙසේ වෙතත් සියලු සාක්ෂි පදනම් කරගෙන පැතිකඩ කීපයක් ඔස්සේ විමර්ශන කටයුතු සිදුවෙනවා. විමර්ශන වාර්තා අනුව මරණ පරීක්ෂණ වාර්තා අනුව ඉදිරියේදී නිශ්චිතවම මෙම සිද්ධියේ සුල මුල සොයා ගැනීමට හැකිවේවි.