අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිශ්කාෂණය කරන්නැයි උපදෙස්
2025 October 18- Page Views : 2 අධිකරණ පරිශයන් හී ගොඩගැසී ඇති නඩු භාණ්ඩ එළැඹෙන දෙසැම්බර් 31 වැනිදාට හෝ ඊට පෙර නිශ්කාෂණය කළ යුතු බවට දන්වමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩි.එම්.ජේ. දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මගින් සියලුම මහාධිකරණ විනිසුරුවරුන් හා සියලුම අධිකරණ නිලධාරීන් වෙත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මේ බව දන්වා ඇත.
අද (18) සිට දෙසැම්බර් 31 වන දින දක්වා කාල සීමාව තුළ සති අන්ත දිනවල හෝ රජයේ නිවාඩු දිනයකදී නැවත අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසර අයැදීමකින් තොරව කොන්දේසි කිහිපයක් යටතේ එම කාර්යයේ නිරත විය හැකි බවත් එහි සඳහන්ව තිබේ.
ඒ අනුව මහාධිකරණයක නඩු භාණ්ඩ කාමරය හෝ ලේඛනාගාරය විවෘත කිරීම මහාධිකරණ විනිසුරු විසින් නම් කළ සුදුසු නිලධාරියෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ යුතු අතර දිසා මහේස්ත්‍රාත් අධිකරණයක හෝ මහේස්ත්‍රාත් අධිකරණයක නඩු භාණ්ඩ කාමරය හෝ ලේඛණාගාරය විවෘත කිරීම දිසා විනිසුරු, මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු හෝ අතිරේක මහේස්ත්‍රාත්වරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කළ යුතුය.
එමෙන්ම අධිකරණ කාර්යාලය විවෘත කිරීම රෙජිස්ට්‍රාර් හෝ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවත් එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.