WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ධීවර විශ්‍රාම වැටුප සිකුරාදා සිට

2025 November 19- Page Views : 29

නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය නොවැම්බර්  21 දින සිට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

1990 අංක 23 දරන විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ යෝජනා ක්‍රම පනත ප්‍රකාරව නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ධීවර ප්‍රජාව වෙත හදුන්වා දීමට සැලසුම් කර ඇත. 

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ එක්ව සාමූහික ව්‍යාපෘතියක් ලෙස ධීවර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින්  කඩිනමින් නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කිරීමට සියලුම කටයුතු සම්පාදනය කර ඇති අතර එය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ  මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. 

මෙම යෝජනා ක්‍රමය මඟින් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමග  විශ්‍රාම වැටුප් ලබාගැනීමට හැකිවන අතර විශ්‍රාම ලබාගනිමින් සිටියදී ප්‍රතිලාභියා මියගිය විට කාලත්‍රයාට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකි බව ගොවි ජන රක්ෂණ  මණ්ඩලය කියයි.

විශ්‍රාම වැටුප් වයස අවුරුදු 60 න් පසුව එළඹෙන එක් එක් වයස් සීමාවලදී  වැඩිවීමද මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ  ප්‍රතිලාභියාට ලැබෙන තවත් සුවිශේෂී වරප්‍රසාදයක් වේ.

කිසියම් හේතුවක් මත  දායකයාට සම්පූර්ණ දායක මුදල් ගෙවීමට නොහැකිව, ගෙවා ඇති දායක මුදල 25%ක් හා 74%ක් අතර වන අවස්ථාවලදී  දායක මුදල් ගෙවීමේ කාලය අවසන් වූ විට ශුද්ධ දායක මුදල් ප්‍රමාණය මත මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පොලී මුදලක් සමග අදාළ මුදල නැවත දායකයාට ලබාගැනීමට හා   විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර ස්ථිර/අර්ධ බෙලහීනතාවයකට පත්වූ විට  ‍මෙම යෝජනා ක්‍රමය මඟින් බෙලහීන ප්‍රතිලාභ ලබා ගැනීමටද මෙම යෝජනා ක්‍රමයට දායක වන ධීවරයින්ට අවස්ථාව සලසාදී ඇත.