WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය හෙට පස්වරුව දක්වා වසා තැබේ

2025 November 22- Page Views : 1187

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස්  දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය තවදුරටත් විවෘත කළ නොහැකි වී ඇත්තේ නායයාමේ ස්ථානය ආශ්‍රිතව විශාල ගලක් කොන්ක්‍රීට් කණු අතර රැඳි පවතින බවත් පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ එය කුමන හෝ අවස්ථාවක පහළට පැමිණීමේ අවදානමක් පවතින බවය.

මේ හේතුවෙන් එම මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ග හරහා ධාවනය කරවීමට පියවර ගන්නා බවත් ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා,

"මාර්ගය දෙපැත්තෙන්ම අපි වහලා තියෙන්නේ. අපි උත්සාහා කරනවා ඉරිදා දින හවස්වරුව වෙනකොට කොහොම හරි මේක විවෘත කරගන්න.

මොකද ලොකු ගල් කුට්ටියක් තාම අස්ථාවර විදිහට තියෙන්නේ. ඒක කොන්ක්‍රීට් කණු උඩ රැඳිලා තියෙන්නේ. සමහරවිට ඒක නැවතත් පහළට පතිත වීමේ ඉඩක් තියෙනවා. ඒ නිසා මාර්ගය දැනට විවෘත කරන්න තරම් අපිට ආරක්ෂාකාරී නෑ. ඒ නිසා අපි පොලිස් නිලධාරීන් යොදවලා එන වාහන අතුරුමාර්ග වෙත යොමු කරලා  ගමන් පහසුව සලසා දී තිබෙනවා.

ඒ වගේම සඳුදා දිනයේ අපිට ගැටලුවක් තියෙනවා උසස් පෙළ සිසුන් විභාගය සඳහා යන දරුවන් එනවා. ඒ නිසා ඒ අය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා මාර්ගයේ කොටසක් විවෘත කරලා,  මාවනැල්ල ඩිපෝවෙන් බස් රථ ආරම්භ කරලා  ඒ දරුවන් සහ විශේෂයෙන්ම ගුරු භවතුන් සඳහා මාර්ගයේ කොටසක් හෝ විවෘත කරලා දෙන්න."