පේරාදෙණිය සරසවි සිසුන්ට පහර දුන් සිව්දෙනෙකු රිමාන්ඩ්
2026 January 17- Page Views : 3
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය පවසනවා. මෙම පහරදීම ඊයේ (15) දින සවස් කාලයේ සිදුව ඇති අතර, පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සිසුන් පිරිස පේරාදෙණිය වැලිහිරිය ප්‍රදේශයේ පිහිටි ඔයක දිය නෑමට ගොස් සිටියදී මෙම ගැටුම හටගෙන ඇති බවයි. එමෙන්ම, එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇටි අතර, පහරකෑමට ලක්වූ සිසුන් සිව් දෙනෙකු මේ වන විට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය පවසන්නේ. සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු ඊයේ කිරිබත්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු අද දින පේරාදෙණිය පොලිසිය වෙත භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන අස්ගිරිය, ගොතටුව සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවත් පොලිසිය සඳහන් කළා.