මත්තල අධිවේගි පිවිසුම අසල දී ගැටුමක් ඇති කළ පිරිස රිමාන්ඩ්
2026 February 19- Page Views : 1879
මත්තල අධිවේගි පිවිසුම ආසන්නයේදී ආසන පටි නොමැතිව අධිවේගී මාර්ගයට බස් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීම සහ පොලිස් රාජකරියට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ සැකකරුවන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මත්තල අධිවේගී පිවිසුම අසල දී බස් රථයකින් පැමිණි පිරිසක් ආසන පටි සිද්ධියක් මුල්කරගෙන ජනාධිපතිවරයාට අපහාසාත්මක අයුරින් බැනවදිමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා වන අයුරින් හැසිරීමේ විඩීයෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
එම සිද්ධිය සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු පෑලියගොඩ රථවාහන කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටාන පොලීසිය මාර්ගයෙන් හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
ඒ අනුව ඔවුන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එදින ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර අදාළ සිද්ධිය වු දින නොසන්සුන්කාරීව හැසිරුණු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරත වු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
මත්තල අධිවේගී පිවිසුමේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, පොලිස් සැරයන්වරුයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස ස්ථාන මාරුකර ඇති බව පොලීසිය පැවසුවේ.
රථවාහන සහ මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ නිලධාරීන් ස්ථාන මාරුකර ඇති බව සඳහන් වේ.