WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාජ්‍ය ව්‍යාපාර 8ක් විකිණීමට ගත් තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

2026 April 03- Page Views : 1880

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් , එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඉකුත් රජය සමයේ අදාළ ආයතන විකිණීම අභියෝගයට ලක් කරමින් වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ පිළිබඳ දැනුම් දී ඇති බව සඳහන්ය.

අදාළ පෙත්සම අචල වෙංගප්පුලි , මහින්ද සමය වර්ධන සහ  සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සමේ  වග උත්තරකරු වශයෙන් ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය  සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කරනු ලැබ ඇති බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසීය.

අදාළ පෙත්සම  කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කරුණු දක්වමින් සඳහන් කළේ ඉකුත් රජය සමයේ ගනු ලැබූ  අදාළ තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇති බවත්  මෙම සමාගම් ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සිදුකිරීම සඳහා පමණක්  කමිටුවක් පත් කර ඇති බවය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥ කනිෂ්ක විතාරණ  මහතා කියා සිටියේ අදාල රාජ්‍ය ආයතන විකිණීම සඳහා රජය ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව දැනුම් දීම නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කර තිබේ.