WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුපියල් කෝටි 2කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

2026 February 06- Page Views : 18

රුපියල් කෝටි දෙකකට අධික 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී, මෙම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශය වෙත රැගෙන යාම සඳහා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව නගරයේ සුපිරි වෙළෙඳසැලක් අසළ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව එම පුද්ගලයන් දෙදෙනා ද අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ගුවන් මගියා මනිපායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු නිතර නිතර විදේශ ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙකු බව පොලීසිය සඳහන් කරයි.

ඔහු අද අලුයම 12.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයට ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගියා රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 116ක් පැකට් දෙකක් ලෙස සඟවා ගෙන තිබූ බව පොලීසිය පවසයි.

එම කුෂ් තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි එකොළොස් ලක්ෂ හැට දහසක් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, එක් අයෙකු එම ප්‍රදේශයේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන 43 හැවිරිදි පුද්ගලයෙකු බවත්, අනෙක් පුද්ගලයා 36 හැවිරිදි පුද්ගලයෙකු බවත් පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි.