WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කණ්ඩලම ජලාශය වාන් දමයි: දඹුල්ල - වෑවලවැව මාර්ගය ජලයෙන් යටවෙයි

2026 February 21- Page Views : 33

ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කණ්ඩලම ජලාශය යළිත් වරක් වාන් දැමීම ආරම්භ කර ඇති බව මහවැලි අධිකාරිය පවසනවා. අද සිට මෙලෙස වාන් දැමීම ආරම්භ වූ අතර, මේ හේතුවෙන් දඹුල්ල - වෑවලවැව ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වෙනවා. පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ බෝවතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න සඳහන් කළේ, අද උදෑසන වන විට වර්ෂාව යම් මට්ටමකින් අඩු වී ඇති බවයි. කෙසේ වෙතත්, මේ වන විටත් තත්පරයට ඝන අඩි 780ක පමණ ජල කඳක් කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගෝනියා ඔයට වැටී කළාවැව දෙසට ගලා බසින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. ජලාශයේ වාන් ජලය දඹුල්ල - වෑවලවැව මාර්ගය හරහා ගලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. විශේෂයෙන් එම ප්‍රදේශයේ සංචාරක හෝටල් බහුලව පවතින බැවින්, විදේශික සංචාරකයින් රැගත් බස් රථ රැසක් දැඩි අවදානම නොතකා මාර්ගය හරහා ගලා යන වාන් ජලය මතින් ගමන් කරන අයුරු දැකගත හැකි බව ද අප වාර්තාකරු පවසනවා. කණ්ඩලම ජලාශයේ වාන් ජලය තවදුරටත් මාර්ගය හරහා ගලා බසින බැවින්, එම මාර්ගය භාවිතා කරන රියැදුරන් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි බලධාරීන් දැනුම් දී සිටින්නේ.