මාරක අනතුරු දෙකක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
2026 March 01- Page Views : 15
පින්දෙනිය පොලිස් වසමේ ඇපලතොටුව හන්දියෙන් ඇති වෙල මැදකඩේ අතුරු මාර්ගයේදී, ටිපර් රථයක පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා එම ස්ථානයේදී ම මියොගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පොතුකොළදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පින්දෙනිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම කොළඹ - හොරණ මාර්ගයේ මිහිඳු මාවත හන්දිය අසලදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
කොළඹ දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ කාර් රථයක පදික පුද්ගලයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පදිකයා බරපතළ තුවාල ලබා පිළියන්ඳල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 66ක් වූ මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.