දුම්රිය සහ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළට
2026 April 16- Page Views : 10
දිවයින පුරා බස් රථ ධාවනය අද (16) සිට සියයට 50ත් 60ත් අතර අගයකින් ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, හෙට (17) දිනය වන විට පෞද්ගලික බස් රථ සේවාව සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවනු ඇති බවය.
ඊයේ (15) දිනය රාජකාරී දිනයක් වුවත් ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙන බවද පැවසු ගැමුණු විජේරත්න මහතා, මේ හේතුවෙන් මගීන් නොමැතිව විශාල බස්රථ ප්‍රමාණයක් ධාවනය වූ බවද පැවසීය.
මේ අතර දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ද අද දින සිට තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ, අද දින දුම්රිය ගමන් වාර 120ක් පමණ සිදුකිරීමට පියවර ගන්නා බවය.
ඒ අනුව අද උදෑසන සහ සවස සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය වන බවත්, 18 වෙනිදා සහ 19 වෙනිදා විශේෂ දුම්රිය ධාවනයට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
අද උදෑසන 6.10ට මාතර බලා විශේෂ දුම්රියක් ධාවනය වූ බවත් සවස 1ට ද විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිත බව පැවසු අසංක සමරසිංහ මහතා, 19 වෙනිදා සවස මාතර සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.