Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෝතල් හෝදලා ඇමෝනියා දාලා පදම්කරලා දෙන කොළඹ පොල් රා

|Wed,04 March 2020|Miscellaneous| Page Views : 53

අලුත් පුවත්
ලිංගික හිංසනයන්ගෙන් බේරීමට කාන්තාවන් සඳහා ඇප් එකක් ජූලියා ෂෝ
Foldable ට්‍රෙන්ඩ් එක
ලංකා ඇමෙරිකා ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව ඇරඹේ
ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස පළමු තරඟය අද
සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයයි ආකාශ්ගේ චරිතයයි අහසයි පොළොවයි වගේ
‘ශදීනොටා’’ නෞකාව කොළඹ වරායට
කෘමින් රැස්කළ රැසියානු ජාතිකයාට මාංචු
 
රා ගොට්ටක් හිස් කිරීමේ කලාව වෙනුවට පතුල පමණක් වැසෙන අඩියක් ගැසීමේ කලාව බි්‍රතාන්‍යයන් විසින් ප්‍රචලිත කරන්නට යෙදුණායින් පසු සිදු වූයේ කිතුල් මලත් සමඟ පැවැති සිංහලන්ගේ පයුරු පාසානම බිඳ වැටීමය. බි්‍රතාන්‍යයන් තම තැරැව්කාර රේන්දකරුවන් හරහා කඩුගන්නාව, මල්ගොමුව පිහිටි රජයේ අවසර ලත් අඩි පොළෙන් පළමු අඩිය සිංහලන් අතට පත් කළේ නොමිලේය. දෙවැනි අඩිය පනම්වලටය. මහනුවර තදාසන්නව අඩි ගැසීමේ කලාව එලෙස සීරුමාරුවෙන් තමන් අතට පත් කර ගත් බි්‍රතාන්‍යයන් කිතුල් ගස මුල් කරගෙන නව නීති රෙගුලාසි රැගෙන ආවේ කිතුල් ගස තම යටත් විජිතයෙන් මුලිනුපුටා දමන අදහසින්ය. නමුත් කොළඹ අවට තත්ත්වය එලෙස නොවිණි.

විකසිත ආර්ථික ගමනක නිරත වෙමින් සිටි කොළඹ නගරය වාණිජමය ලෙස දියුණුව කරා යන විට ඇති වූ කර්මාන්ත දියුණුව නිසා එහි පැමිණි ශ්‍රමිකයන්, වරාය කඩ‍ෙදාර සිටි පුහුණු ශ්‍රමිකයන් සහ විශේෂයෙන් නගරයේ සනීපාරක්ෂාව සහ කැළිකසළ ඉවත් කිරීම සඳහාම ඉන්දියාවෙන් ගෙන්වන ලද “සක්කිලි” සනීපාරක්ෂක සේවකයන්ට තම සීල් අරක්කු පොවන්නට බි්‍රතාන්‍යයන් උත්සාහ නොකළේ ඔවුන් තමන් ශ්‍රමය ඉතා අඩු මුදලකට මිල කර තිබූ නිසාය. යටත් විජිතයක පාලන තන්ත්‍රය පහසුවෙන් ර¼දා පවතින්නේ ඇති නැති පරතරය පවත්වාගෙන යෑමෙන් බව හොඳින් දැනගත් බි්‍රතාන්‍යයන් අඩු ආදායම්ලාභී පිරිස් මුල්කරගෙන පොල් රා හඳුන්වා දුන් අතර පොල් රා කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම සඳහා කේරළයේ කෝචින් වරාය හරහා “කොච්චි” ශ්‍රමිකයන්ද කොළඹට රැගෙන ඒමට කටයුතු කළා කීම නිවැරැදිය. ලංකාව තුළ කිතුල් මලෙන් පිට මල් පැන් පොදක් වහනය වූවා නම් ඒ කොච්චි කර්මාන්තකරුවන් හරහා පොල් ගසිනි. පෙර සඳහන් කළ පරිදි වරාය ශ්‍රමිකයන්, කම්කරුවන්, කරත්තකරුවන් සහ සක්කිලි සනීපාරක්ෂයක් වැඩිමනත් දෙනා සිය ස්ථීර පදිංචිය සඳහා තෝරාගත් කොළඹ මෝදර, මට්ටක්කුලිය වැනි ප්‍රදේශවල පොල් රා තැබෑරුම් විවෘත වූ අතර ශ්‍රමය මිල කර ඉතා සුළු වැටුපක් ලැබූ මිනිසුන් තම වැටුපට සරිලන මුදලකට පදමට වෙරි වීමට ගත්තේ මෙම පොල් රා තැබෑරුම් මුල් කරගෙනය. අදදු සීල් අරක්කු බෝතලයක මිල රුපියල් 1600කට ආසන්න වුවත් පොල් රා කෝප්පයකට මිල රුපියල් 80කට වැඩි නොවේ. 80 කෝප්ප දෙකක් කන් අඩි රත්කරවන පදමේය. දවස පුරා ශ්‍රමය වගුරවන මිනිසුන් එවැනි මතකින් සන්තෘප්ත වීම ජින්, බ්‍රැන්ඩි, විස්කි වඩි කරුවන් දුටුවේ නුහුරටමය.

මතට තිත අද වන විට තිතටත් මත දක්වා දුරදිග ඇදී ගොස් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොළඹ නගර සීමාවේ සාමාන්‍ය මත්පැන් අලෙවි සල්, රට බීම අලෙවිසල්, බීර සහ රා අලෙවිසල්, සුඛෝපභෝගී හෝටල් සහ අවන්හල්වල විවිධ තරාතිරමේ ගනුදෙනුකරුවන් තම මත ළඟාකරගන්නේ තමන්ට හැකි ආකාරයෙන්ය. නමුත් ප්‍රාථමික මට්ටමේ මත ලබාගන්න පොල් රා පානය කරන්නන් හට එහිදී එල්ල වන්නේ වැඩි අවධානයක් යැයි කීම යුක්තිය. කොටහේන, මෝදර, මට්ටක්කුලිය, මාදම්පිටිය ප්‍රදේශවල කොළඹ නගර සීමාවේ පොල් රා තැබෑරුම් ස්ථාපිත වූයේ පෙර සඳහන් ලෙස කය වෙහෙසා ශ්‍රමය වගුරන ජන කොටස් මුල්කරගෙනය. කොළඹ නාගරික පැල්පත්වාසී සහ අඩු ආදායම්ලාභී ජනතාව අතර රා භාවිතය වැඩි වීම වසංගතයක් දක්වා දුරදිග ඇදේවි යැයි තේරුම් ගත් එවක පාලක තන්ත්‍රය පසුකාලීනව පොල් රා තැබෑරුම් බලප්‍රදේශ සීමා කිරීමට තීන්දු කළ අතර ඒ අනුව 2013 ඔක්තෝබර් මස 25දා රජයේ අංක 1834 ගැසට් පත්‍රය නිකුත් කරමින් රා තැබෑරුම් පවත්වාගෙන යන බලප්‍රදේශය සීමා නිර්ණයකට ලක් කළේය. ඒ අනුව කොළඹ නගර සීමාව තුළ පෙර පැවැති රා තැබෑරුම් 5ක් වූ ගණන එලෙසම පවත්වාගෙන ගියත් ඊට අයත් නාගරික බල ප්‍රදේශය සීමා කරනු ලැබීය. ඒ අනුව කොටබෝම, කොටහේන, මෝදර, ෆර්ගියුසන් පාර, මාදම්පිටිය පැවැති පොල් රා තැබෑරුම් එලෙස පවත්වාගෙන යන්නට වූ අතර නමුත් මේ සීමාවන් පැවැතියේ වසර දෙකකට අඩු කාලයකි.

2015 සැප්තැම්බර් 18 වැනිදා අංක 1933 ගැසට් නිවේදනය ඉදිරිපත් කරමින් කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා සීමා කර තිබූ බලප්‍රදේශ අති විශාල ලෙස පුළුල් කරන්නට තීරණය කළේය. ඇතිව තිබූ තත්ත්වය පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු ලබාදුන් කොළඹ රා පානය කරන්නන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සමිතිය (අංක 62/5 ඒ ඇල්. අල්විස් පෙදෙස, කොටහේන) සාමාජිකයෙක් මෙලෙස පැවැසීය.

“කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඡන්ද බල ප්‍රදේශ දෙකක් අයත් වෙනවා. ඒ උතුරු කොළඹ සහ මැද කොළඹ ලෙස. ඔය යෝජනාව අනුව මේ ඡන්ද බල ප්‍රදේශ දෙක තුළම රා තැබෑරුම් සඳහා වන බලප්‍රදේශ පුළුල් වීම විශාල ගැටලු ගණනාවක ආරම්භය. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන විවිධත්වයෙන් යුතුයි. ඒ තුළ වැඩිපුර ඉන්නේ බෞද්ධයන්. හින්දූන් 80,863ක්, ඉස්ලාම් භක්තියකයන් 13,3570ක්, රෝමානු කතෝලිකයන් 45,450ක් වගේ ජීවත් වෙනවා. මේ බල ප්‍රදේශ තුළ වැඩියෙන්ම ඇත්තේ බෞද්ධ සිද්ධස්ථාන 90ක් විතර. හින්දු කෝවිල් 32ක්. ඉස්ලාම් පල්ලි 35කට කිට්ටුයි. කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි 35ක් විතර. මෙම තත්ත්වය මත කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආගමික අතින් සංවේදීයි. මෙම ගැසට් නිවේදනය මඟින් දැනට සිටින තැබෑරුම්කරුවන් 5 දෙනකුට තමන්ට රිසි තැනකින් කඩයක් සොයාගෙන තැබෑරුමක් අරින්න ඉඩ සැලසෙනවා. ඒ අනුව පන්සලක්, පල්ලියක්, කෝවිලක්, පාසලක් ආසන්නයේ වුණත් පොල් රා තැබෑරුමක් අරින්න ඉඩ සැලසේවි. ඒකයි රා පානය කරන්නන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන අප සමිතිය මෙම තත්ත්වයට විරුද්ධ වුණේ.”

රා පානය කරන්නන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ අදහස් පරස්පර නොවේ. එය රා කර්මාන්තය සමඟ එක පලෝලයේ යනු ලබයි. කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස එවකට සේවය කළ ඩී.බී. වික්‍රමසිංහ මහතාගේ ගැසට් පත්‍රයට විරුද්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පූජ්‍ය සහ පැවිදි පක්ෂය එම ගැසට් පත්‍රයට විරුද්ධව අතුරු තහනම් නියෝගයක් මේ වන විට ලබාගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි අනු ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති සර්ව සාධාරණත්වය අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීරණය කරන ලෙස ඉල්ලමින් 2015-10-9 දින අංක එස්.පී. එස්.ආර්. 383/2015 දරන මූලික අයිතිවාසිකම් නඩුවට අනුයාතකවය. හාස්‍ය දනවන කරුණ වන්නේ එවකට බලයේ සිටි ජනාධිපතිවරයා මතින් තොර නිදහස් රටක් තුළ පුරසාරම් ‍ෙදාඩන විට කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා සීමා කිරීම් මත යාවත්කාලීන වූ පොල් රා තැබෑරුම් කොළඹ නගරය පුරා ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහයය. “ප්‍රාදේශීය ලේකම්තුමාට වුවමනා විධියට කොළඹ නගරය පුරා පොල් රා තැබෑරුම් ව්‍යාප්ත වුණා නම් පිටකොටුව ඉඳලා අනුරාධපුර, පොළොන්නරුව, වවුනියාව බස්වල යන එන මගීන්ට තිබුණා රා කෝප්පයක් බීලා බස් එකට නැඟලා ගෙදර යන්න.” තැබෑරුම් බල ප්‍රදේශ ව්‍යාප්ත කිරීම පිළිබඳ එලෙස ද්වනිනාර්ථ ගොනු කළේ පදමට රා වෙරිය ඇඟට ගත් අයෙකි. ඔහු සැබැවින්ම උගත් යැයි කියා ගන්නා නිලධාරීන්ට වඩා ප්‍රායෝගිකව ඇති වීමට තිබූ තත්ත්වය අත් දැක ගත් පුද්ගලයකු ලෙස හැඳින්විය හැකිය. දිළින්දන්ගේ මත් පානය වන පොල් රා පිළිබඳ න්‍යායාත්මක එළැඹුම එලෙස වුවත් කොළඹ නගර සීමාව තුළ පවත්වාගෙන යනු ලබන රා තැබෑරුම්වල ප්‍රායෝගික ක්‍රියා පිළිවෙත නිරීක්ෂණ සඳහා ලියුම්කරු රා තැබෑරුම් 5 අතරින් කිහිපයකට ගොඩවැදුණේ රා කෝප්පයක් දෙකක් හිස් කිරීම දෙවැනි අදහස ලෙස ගනිමින් සහ රා පානය කරන්නන් කිහිපදෙනෙක්වද පිළිසඳරේ යෙදීම මුල් කරගනිමින්ය. කොළඹ, කොටහේන වෙරළබඩ පොලිසියේ ආසන්නයේ ඇති පොල් රා තැබෑරුම පළමු නිරීක්ෂණයය. එහි අපූරු ඉතිහාසමය සුන්දරත්වයක්ද වේ. මෙම පොල් රා තැබෑරුම සාක්ෂි දරන්නේ පෙර සඳහන් කළ ආකාරයට කේරළයෙන් පැමිණි පොල් රා කර්මාන්තකරුවන් පිළිබඳවය. ඔහු නමින් රාමන්ය. එම්.ආර්. රාමන්ය. රාමන් කේරළයේ සිට පැමිණ මෙම රා තැබෑරුමේ හිමිකරු බවට පත්ව උසස් ප්‍රමිතියෙන් යුත් රා තම ගනුදෙනුකරුවන් අතට පත් කර තිබෙන්නේ පැයෙන් පැයට රා පුසුඹ සහ සැර පිළිබඳ ප්‍රායෝගික අධ්‍යයනයක යෙදෙමිණි. අද රාමන්ගේ පරපුරේ අයෙක් විසින් මෙම රා තැබෑරුම පාලනය කරන බවත් එදවස පැවැති රා බීමේ සංස්කෘතිය තවත් එලෙසින් පවත්වාගෙන යන බවත් පවසා සිටියේ එම පොල් රා තැබෑරුමේ නිත්‍ය සාමාජිකයෙක් වන බදුලුපිටියේ රාජ් කුමාර්ය. වඩා ඉඩකඩ ඇති සනීපාරක්ෂක පහසුකම්වලින් පොහොසත් එම රා තැබෑරුම ගෘහ නිර්මාණ ශීල්පීය ලක්ෂණවලින් නෑකම් කියන්නේ පෘතුගීසි යුගයටය. දහදිය වගුරා කඳුළු බිඳක් සමඟ ජීවිතයේ සැරසැප නිවා දමනා රාජ් කුමාර්ට අප සවන් දිය යුතුමය.

“කොළඹ අවට රා තැබෑරුම් 5ක් තිබෙනවා. මම ඉස්සර ගියේ ෆර්ගියුසන් පාරේ මහල් නිවාස අතර රා තැබෑරුමට. එතැනත් හරි අඩුපාඩු. හැබැයි එතැන්ට වඩා මෙතැන රා හොඳයි. මාදම්පිටිය තැබෑරුමෙත් රා නරකම නැහැ. හැබැයි ඉබ්බාගේ වත්ත සංකර්ගේ රා තැබෑරුමට නම් මම යන්නේම නැහැ. ඒ මොකද ඒ තැන්වලින් රා බිව්වම ඇඟපත රිදෙන්න ගන්නවා. අනෙක් දවසේ වැඩක්පළක් කර ගන්න බැහැ. ඒ හින්දා රා කෝප්පයක් දෙකක් බොන්න මම එන්නේ මේ වෙරළබඩ පොලිසිය ගාව තියෙන රා තැබෑරුමට. එතැන ආරක්ෂාවත් හොඳයි. රා බිව්ව ගමන් මහ පාරට බහින්න වෙන්නේ නැහැ” රාජ් කුමාර්ගේ කතාවට හූ මිටි දෙන්නට පැමිණි සුදා (වී. සුදර්ශන්) පවසා සිටියේ කොළඹ අවට පොල් රා තැබෑරුම්කරුවන් අතරින් කිසිවෙක් රා බොන මිනිසුන් ගැන සිතන්නේ නැති බවයි.

“මම දැනට අවුරුදු 30ක ඉඳලා හැමදාම රා බොනවා. කොළඹ අවට තියෙන ඕනෑම තැබෑරුමකින් මම ඇතිවෙන්න රා බීලා තියෙනවා. ඒ කාලේ කොළඹ රා තැබෑරුම් කියන්නේ බොහොම හොඳට ඉඩකඩ තිබිච්ච තැන්. හොඳට මේස පුටු දාලා කටගැස්මක් අරගෙන ඉඳගෙන රා බොන්න පුළුවන්කම ඒ හැම තැනකම තිබුණා. ඒත් දැන් රා තැබෑරුම් පෙට්ටි කඩ ගාණට වැටිලා. ඔය ඉබ්බගේ වත්තේ රා තැබෑරුම හොඳට ඉඩකඩ තිබුණු තැනක්. ඒක පස්සට පසු රොක්හවුස් පටුමඟට අරන් ගියා. මෙන්න එක පාරටම ඊයේ, පෙරේදා අලුත් පාරේ තැනකට ඒක අරගෙන ආවා. හරියට පෙට්ටි කඩයක් වගේ. ඉඳගන්න පුටුවක් නැහැ. බීලා එළියට බැස්ස ගමන් මහ පාර. වාහන යන්නේ ඇඟ උඩින්.”

අප ඔහුට සවන් දෙමින් ඉබ්බාගේ වත්තේ එසේත් නොමැති නම් අලුත් පාර රා තැබෑරුම සොයා ගියෙමු. නැවතත් හාස්‍ය දනවන කරුණක්.! අරුල්මිගූ - ශ්‍රී _ ආදිපරා ශක්ති මෑණියන්ගේ දේවස්ථානයට සහ තවත් බෞද්ධ සිද්ධස්ථානයකට මැදිව ඉබ්බාගේ වත්ත රා තැබෑරුම පිහිටා ඇති අතර එයට යාබදව ඇත්තේ මත්පැන් අලෙවිසලකි. එහි ඉඩකඩ කිහිප දෙනකුට පමණක් පෑහේ. නිසි වැසිකිළි පද්ධතියක්ද එහි නොමැති අතර මෙවැනි ස්ථානයක අවම පහසුකම් හෝ නොමැතිව රා තැබෑරුමක් විවෘත කිරීමට අවසර ලබාදුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව පළමුව සොයා බැලිය යුතු වේ. ඉබ්බාගේ වත්ත එසේත් නොමැති නම් අලුත් පාර රා තැබෑරුමේදී හමු වූ ඇන්ටන් රොබිසන් ප්‍රනාන්දු රා පිළිබඳ මාතෘකාවට එක් කළේ කදිම උෟනපූර්ණයකි.

“මහත්තයා හරියට හොයලා බලන්න. නීත්‍යනුකූල විධියට එක් පොල් ගහකින් ගන්න පුළුවන් රා ලීටර් 1 1/2ක් විතරයි. ඒත් කොළඹට පොල් ගස් දෙතුන් දාහක රා හැමදාම එනවා. ඒ එන රා ලීටර් ගාණට අදාළව ලංකාවේ පොල් ගස් නැහැ. එහෙම පොල් ගස් නැති රටක මෙච්චර රා තොගයක් කොයිද? කොළඹට එන්නේ කොළඹ අවට රා විතරයි. මොරටුවෙන් පල්ලෙහා පොල් රා ඔක්කොම මෙන්ඩිස් කොම්පැනිය මිලට ගන්නවා. මෙන්ඩිස් කොම්පැනිය පොල් රා මිලට ගන්නේ දේශපාලන හිතවත්කම් මත. ඒ අය කොච්චර රා ගෙනාවත් මිලට ගන්නවා. එහෙම ගත්තම කොළඹ තියෙන්නේ මේ අවට රා විතරක් වෙන්න ඕනෑ. ඇත්ත කතාව මහත්තයා කොළඹ නගරයේ තියෙන රා තැබෑරුම් කිහිපයක්ම කෘත්‍රිම රා හදනවා. මම මෙහෙම කියන්නම්, සාමාන්‍යයෙන් බෝතල් කරපු රා වෙළෙඳපොළේ තියෙනවානේ. ඒ රා බෝතල් පාවිච්චි කළායින් පසු සෝදා පවිත්‍ර කර දෙන පොරොන්දුව පිට භාර අරගෙන ලොකු ටැංකියකට දාලා ඒ රා බෝතල්වල මණ්ඩි පිටන් සුද්ද කරනවා. ඊට පස්සේ ඔය සුද්ද කරපු වතුරවල තියෙන්නේ රා පුසුඹ. ඒ වතුරවලට ඇමෝනියා එක්ක තව කෙමිකල් එකක් දාලා තමයි කෘත්‍රිම රා නිපදවන්නේ. එහෙම හදන කෘත්‍රිම රා කොළඹ අවට විකිණෙනවා. රුපියල් 80 කෝප්ප දෙකක් ගහපු ගමන් මිනිස්සු පැත්ත වැටෙන්නේ ඒ හින්දා. මේ රා අලෙවිසල් පිළිබඳ කොච්චර පැමිණිලි කළත් වැඩක් නැහැ. ලුණු පොකුණේ සහන තරුණ පෙරමුණ මෙම තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමාටත් කිව්වා. කෘත්‍රිම විස සහිත මත්පෙති රා සමඟ මිශ්‍ර කර විකුණන බව ඒ අය පෙන්වා දුන්නා. අලුත් මාවත පාරේ අංක 254 පිහිටි රා තැබෑරුම හින්දු කෝවිලකට මීටර් 5ක් පමණ දුරින් පිහිටා තිබෙන්නේ. ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ පිළිරුව ඊට මීටර් 20ක් දුරින්. ශාන්ත ඇන්ඩේ‍රා්ගේ දේව මන්දිරය මීටර් 100ක් දුරින්. ජේසුස් ජීවමානයි නමැති ආගමික සංවිධානය ඒ අසලම. ලුණු පොකුණේ කෙල්ලෝ කොල්ලෝ මේ තත්ත්වයට විරුද්ධව හැම බලධාරියකුටම තමන්ගේ දුක කිව්වා. ඒත් තැබෑරුම් අයිතිකාරයෝ දිනනවා මිසක් සාධාරණයක් ඉටු වුණේ නැහැ.”


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න