ඖෂධ නීතිගත සංස්ථාවේ බෙහෙත් නිවසටම දෙන්න ක්‍රමයක්
|Wed, 09 December 2020|Security| Page Views :
|
|
රෝගීනට අවශ්‍ය ඖෂධ නිවසටම ලබාදීම සඳහා වන නව වැඩපිළිවෙලක් සඳහා මුලික සාකච්ඡා සිදුකිරීමක් ඊයේ (08වන දා) සිදුකර ඇති අතර ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශයේදී එය පවත්වා තිබේ.
ප්‍රාදේශීය වශයෙන් පත්කරනු ලබන නියෝජිතයෙකුගේ මාර්ගයෙන් රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වට්ස්ඇප් කිරීම මඟින් මෙම ඖෂධ තම නිවසටම ලබා ගැනීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මෙහිදී තීරණය විය.එම නියෝජිතයන්ට වට්ටමක්ද ලබා දීමට හැකියාවක් පවතින බව තහවුරු විය.
එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නව ඔසුසල් සඳහා ඉල්ලුම් කර තිබූ අතර, එම ආයතන ආරම්භ කිරීම සඳහා මූලික අවශ්‍යතා සපුරා තිබිය යුතු බව මෙහිදී සාකච්ඡා විය.ඔසුසලක් ආරම්භ කිරීමේදී වර්ග අඩි 1500 ක භූමි ප්‍රමාණයක් අවශ්‍ය බවත්, රජයේ ගොඩනැගිල්ලක් හෝ රජයේ ඉඩමක තිබෙන ගොඩනැගිල්ලක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ විමධ්‍යගත අයවැයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් හෝ වීම මෙහිදී මූලික සුදුසුකමක් බව තහවුරු විය.
මේ අනුව අවශ්‍යතා සපුරා ඇති ප්‍රදේශ වලට මාස 02ත්, 03ත් අතර කාලයේදී ඔසුසලක් ආරම්භ කළ හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජිතයන් පැහැදිලි කර ඇත.
කෑගල්ල,මඩකලපුව,නුවරඑළිය,තිස්සමහාරාමය,බත්තරමුල්ල,මාලබේ,ත්‍රිකුණාමලය,නිට්ටඹුව,වරකාපොල,නාත්තණ්ඩිය,මාරවිල හා හලාවත යන ප්‍රදේශවල ඔසුසල් ඉදිකිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් දැනට සපුරා ඇති බව තහවුරු වී ඇත.
එම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන උපුල් ගලප්පත්ති, ජගත් කුමාර සහ අශෝක ප්‍රියන්ත යන මහත්වරුන් හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා ඇතුලු පිරිසක් සහභාගි වී තිබේ.
|
|