රුසියානුවන්ට අනතුරු ඇඟවීමක්
2024 December 13- Page Views : 10
රුසියාවත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් දිනෙන් දින පිරිහී යද්දී, ඇමෙරිකාවට හෝ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවලට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන මෙන්, රුසියන් රජය එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
විදෙස් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රුසියාවත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් මෙසේ පිරිහී ගොස් ඇත්තේ, 1962 වසරේ කියුබානු මිසයිල අර්බුදයෙන් පසුව බවය.
ඇයිහොඳයිකම් පළුදුවීමට හේතුව, රුසියන් යුක්රේන යුද්ධය යැයි ද පැවැසෙයි. මේ වනවිට ඇමෙරිකාවත් රුසියාවත් අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ බියක් ද හටගෙන ඇත.
“අප කැමතියි අපේ රුසියන් වැසියන්ට අනතුරු අඟවීමක් කරන්න. ඇමෙරිකාවට හෝ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවලට යෑමෙන් වළකිනවා නම් වඩා හොඳයි. ඒත් ඔබ එසේ යනවා නම් කල්පනාකාරී වෙන්න ඕනෑ. ඔබට අනතුරක් වීමේ අවදානමක් තිබෙනවා” යැයි රුසියන් විදේශ කටයුතු අමත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකරෝවා පැහැදිලි කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ජෝ බයිඩන් රුසියන් යුක්රේන යුද්ධයේ දී දිගින් දිගටම යුක්රේනයට සහාය පළ කළ අයෙකි. බයිඩන් පරිපාලනය යුක්රේනයට ලබා දී ඇති යුධ ආධාර ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 62 කි.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ජනාධිපති ධුරයට පත්වූ සැණින් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනා සලකා බලන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදිලි කර ඇත.