බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 March 12- Page Views : 14 පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
බෙදුම්වාදීන්, දුම්රියට ගොඩ වී දුම්රිය ඔවුන්ගේ පාලනයට ගෙන ඇත්තේ මගී දුම්රියට වෙඩි තබමින් පහර දෙමිනි. එම ප්‍රහාරයෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එසේ වූයේ දුම්රිය බිංගෙයක් තුළින් යද්දී නතර කරමිණි.
මියගිය 10 දෙනාගෙන් නව දෙනකු දුම්රියේ ආරක්ෂාවට යොදවා සිටි පාකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයන් වන අතර, අනෙක් තැනැත්තා දුම්රිය රියදුරාය.
සටන්කාමීන් දුම්රියට පහර දීමට පැමිණෙද්දී, ඊට 400 කට වැඩි පිරිසක් ගොඩවී සිටි නමුත්, සටන්කාමීන් පහර දෙද්දී බොහෝ දෙනකු දුම්රියෙන් බැස පලා ගිය බව ද වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වූයේත් පැහැර ගැනීමට ලක්වූයේත් ජෆාර් එක්ස්ප්‍රෙස් නමැති සීඝ්‍රගාමී මගී දුම්රියයි. පැහැර ගැනීම සිදුවූයේ ඊයේ (11) උදෑසන 9 ට පමණය.