දැඩි ආරක්ෂක රැකවල් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පුහුණුවීම් අරඹයි : දෙවැනි එක්දින තරගය අද
2025 November 14- Page Views : 3
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි ආරක්ෂක රැකවල් මැද ඊයේ (13) රාත්‍රියේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ දී පුහුණු සැසියකට එක්ව තිබෙනවා.
මෙම අවස්ථාව නිරීක්ෂණයට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙන්ම එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මොහ්සින් නක්වි, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනවිරත්න මෙන්ම එරට ආරක්ෂක ප්‍රධානීන් ද එක්වුණා.
මේ අතර, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද (14) පස්වරු 03.00ට රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මොහ්සින් නක්වි ඊයේ එරට පාර්ලිමේන්තුවේදී පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එරට හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බවයි.
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ ගැටලු මතුවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් යළි දිවයිනට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේ වෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක, මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ බලධාරීන් පාකිස්ථාන බලධාරින් සමග පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබූ අතර, ජනාධිපතිවරයා ද සහතික වී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.
එසේම ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද පාකිස්ථානයේ ආරක්ෂක ප්‍රධානීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ඒ අනුව ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටලයට සහ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය තුළ මෙන්ම පිටත ද විශේෂ ආරක්ෂාවක් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.
පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මොහ්සින් නක්වි ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයින් රාජ්‍ය අමුත්තන් වන අතර ඔවුන් ආරක්ෂා කර ගැනීම තම රජයේ ප්‍රමුඛතාව බවයි.
කෙසේ වෙතත් පැවති ව්‍යාකූල තත්ත්වය සමතයකට පත්වීමත් සමග පාකිස්ථාන සංචාරය අතහැර ආපසු පැමිණීමට සූදානම්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිඩකයින් සියලු දෙනාම නැවත තරග සඳහා සහභාගී වීමට තීරණය කර තිබෙනවා.
උද්ගත වූ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය ද අද දක්වා කල් දැමුණු අතර, තුන්වන සහ අවසන් තරගය 16 වැනිදාට කල් තැබුණා.
මේ සම්බන්ධයෙන් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පාකිස්ථානයේ හිටපු වේගපන්දු යවන ක්‍රිඩක ෂොයිබ් අක්තාර් කියා සිටියේ සිය රට තුළ රැඳී සිටීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිය පළ කරන බවයි.
එසේම පාකිස්ථානයේ හිටපු ක්‍රීඩකයින් රැසක් සහ එරට ක්‍රිකට් ලෝලීන් ද, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට සහ ශ්‍රී ලාංකිකයන් වෙත සමාජ මාධ්‍ය තුළ ස්තූතිය සහ ගෞරවය පුදකරමින් සටහන් තබා තිබෙනවා.
මේ අතර, මෙම තරගාවලියෙන් පසුව ආරම්භ වන ශ්‍රී ලංකා - පාකිස්ථාන සිම්බාබ්වේ තුන්කොන් පන්දුවාර 20 තරගාවලිය මේ මස 18 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.
එමෙන්ම තරගාවලියට එක්වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ පාකිස්ථානයට පැමිණියා.
මෙම තුන්කොන් තරගාවලියේ පළමු තරගය පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර රාවල්පිණ්ඩිහිදී මේ මස 18 වැනිදා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය මේ මස 20 වැනිදා පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.
මේ අතර පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ පනවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.
ඒ පළමු එක්දින තරගයේ නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්.