WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

Sandy bay වෙරළ තීරය මහජනතාවට බාධාවකින් තොරව භාවිත කිරීමට පියවර

2026 January 08- Page Views : 12

ත්‍රිකුණාමලය, මනෛයාවෙලි ප්‍රදේශයේ පවතින ‘සැන්ඩි බේ’ වෙරළ තීරය මහජනතාවට බාධාවකින් තොරව භාවිත කිරීමට අවස්ථාව ලබා දීම සහ ධීවර ගැටලුවලට විසඳුම් ලබා දීමට අදාළව ගෙන ඇති පියවර පිළිබඳව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. 

දස වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (07) පස්වරුවේ රැස්ව ඇත.

එමෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම සහ හෙලිකොප්ටර් සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ. 

ඔලුවිල් වරාය ආශ්‍රිත ඉඩම් ඛාදනයට ලක් වීමේ ගැටලුව පිළිබඳවද විශේෂ අවධානය ‍යොමු කර ඇති අතර, ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳව NARA ආයතනයේ සහාය ලබා ගනිමින් නව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.  

මින් පෙර පැවති සාකච්ඡාවල ප්‍රගතිය විමසීම ද මෙහිදි සිදුකර ඇති අතර, උතුරේ ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් යොමු කරන ලද බොහෝ ගැටලුවලට සාධනීය විසදුම් ලබාදීමට පියවර ගෙන තිබෙන බව එහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම කටයුතු සිදුකරගෙන යාමේදි තවදුරටත් පවතින බාධා සහ ගත යුතු පියවර පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.