අධිවේගයේ නඩත්තු පිරිවැය සහ ආදායම ගැන හෙළිදරව්වක්
2026 May 20- Page Views : 7
සමස්ත අධිවේගී මාර්ගවල දුර කිලෝමීටර් 312.57ක නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5180.90 බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් දක්වන්නට විය.
ඒ අනුව E1-දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දක්වා කිලෝමීටර් 200.45ක් සඳහා සමස්ථ පිරිවැය ලෙස රුපියල් මිලියන 2024.5ක් බව ඒ මහතා පැවසීය.
මේ අතර, E2 පිටත වට රවුම් මාර්ගය කොට්ටාව කෙරවලපිටිය කිලෝමීටර් 28.86ක් සඳහා පිරිවැය රුපියල් මිලියන 767.6කි.
E3 කොළඹ කටුනායක අධිවේගී මාර්ගය පෑලියගොඩ සීදූව කිලෝමීටර් 25.8ක් සඳහා පිරිවැය රුපියල් මිලියන 834.1කි.
E4 මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගම කුරුණෑගල යග්ගපිටිය කිලෝමීටර් 40.91ක් සඳහා පිරිවැය රුපියල් මිලියන 531.00කි.
E5 දක්ෂිණ අධිවේගී මාර්ගය දිගුව අන්දරවැව හම්බන්තොට කිලෝමීටර් 16.55ක් සඳහා රුපියල් මිලියන 1022.70 කි.
ඒ අනුව සමස්ත මුළු දුර කිලෝමීටර් 312.57ක් සඳහා සමස්ත නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5180.90ක් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මේ අතර, 2025 වර්ෂයේ මුල සිට 2025 දෙසැමබර් 31 දිනට සමස්ත අධිවේගී මාර්ගවල ආදායම මිලියන 16330.14ක් බව ඒ මහතා පැවසීය.
ඒ අනුව,
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 5031.28ක්,
පිටත වට රවුම් මාර්ගයේ ආදායම රුපියල් මිලියන 4347.32ක්,
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 3355.12ක්,
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ආදායම රුපියල් මිලියන 2019.45ක්,
මධ්‍යම අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 1576.97ක්.
බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.