කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හෙට ඇරඹේ
2026 June 15- Page Views : 7
කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හෙට (16) ආරම්භ කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව වසර 42කට අධික කාලයක් පැවති ජල කාන්දුවට ස්ථිරසාර තාක්ෂණික විසඳුමක් හිමි වනු ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
පසුගිය පාලන සමයන්හි පැවති අදූරදර්ශී සහ නිද්‍රාශීලී ප්‍රතිපත්ති හේතුවෙන් දශක හතරකට අධික කාලයක් තිස්සේ මුළුමනින්ම නොසලකා හැර තිබූ කලා වැව ජලාශයේ දොරටු රහිත වාන් මගෙහි බරපතළ ජල කාන්දුවීම් සිදුවිය.
පසුගිය රජයන් විසින් වසර ගණනාවක් පුරා රජරට ගොවි ජනතාවගේ වටිනා වාරි ජලය ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් අපතේ යාමට ඉඩහැරිය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය චෝදනා කරයි.
එම අකර්මණ්‍ය ක්‍රමවේදය මුළුමනින්ම වෙනස් කරමින්, වත්මන් රජය විසින් බලයට පත්ව කෙටි කලක් ඇතුළත මෙම ජාතික අවශ්‍යතාවය හඳුනාගෙන ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඍජු ප්‍රතිපත්තිමය මැදිහත්වීම මත, ඒකාබද්ධ ජල ඵලදායීතා සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වයෙන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මෙම සමස්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.
වසර 42කට පසුව කලාවැව ජලාශයේ සිදු කෙරෙන මෙම සුවිශේෂී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය සඳහා වත්මන් රජය අපේක්ෂිත මුළු මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 75කට අධික බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.