චීන ආරක්‍ෂක උපදේශක සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අතර හමුවක්
2026 June 16- Page Views : 7
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අතර නිල හමුවක් පවත්වා තිබේ.
මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සහ චීන ආරක්‍ෂක උපදේශකවරයා අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇත.
මෙරට සන්නද්ධ හමුදාවන්හි පුහුණු කටයුතු සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් චීනය ලබා දෙන දිගුකාලීන ආරක්ෂක සහයෝගීතාව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමකට ලක් විය.
එමෙන්ම මෙරට හමුදාව ගොඩබිම් ආරක්ෂක ක්‍රියාන්විතවලට පමණක් සීමා නොවී, මුහුදු සීමා ආරක්‍ෂක කටයුතු පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා, රටේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය උදෙසා වන කැපවීම ද යළිත් සහතික කළේය.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ වෙළඳාම සහ මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා වන සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශවයම මෙහිදී සාකච්ඡා කළහ.
තවද උසස් තාක්ෂණය ඒකාබද්ධ කිරීම, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ ආපදා කළමනාකරණය ඇතුළු අනාගත සහයෝගීතාවන් සඳහා වන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි ද මෙහිදී අවධානය යොමු ව ඇත.