කැනඩාවෙන් ගෝල වැස්සක් - ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
2026 June 19- Page Views : 5
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනාගත් මූලික වටයේ තීරණාත්මක තරග කිහිපයක් මෙරට වේලාවෙන් අද (19) අලුයම නිමාවට පත්විය.
එහිදී කැනඩාව සහ ස්විට්සර්ලන්තය කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කළ අතර, චෙකියාව සහ දකුණු අප්‍රිකාව අතර සටන සම තත්ත්වයෙන් අවසන් විය.
කැනඩාවෙන් කටාර් රාජ්‍යයට ගෝල වැස්සක්
'B' කාණ්ඩයේ තරගයක් ලෙස කැනඩාවේදී පැවැති මෙම තරගයේදී කටාර් කණ්ඩායම සම්පූර්ණයෙන්ම අසරණ කිරීමට සත්කාරක කැනඩා ක්‍රීඩකයෝ සමත් වූහ.
තරගයේ පළමු අර්ධය නිමාවන විටත් ගෝල 3-0ක් ලෙස පෙරමුණ ගැනීමට කැනඩාව සමත් විය.
දෙවැනි අර්ධයේදී ද තම ආධිපත්‍යය පැතිරවූ ඔවුන්, කටාර් පිලට කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොතබා 6-0ක අතිවිශිෂ්ට ජයක් තමන් සතු කරගත්තේය.
අවසන් මිනිත්තු කිහිපයේ පෙරළියක් කළ ස්විට්සර්ලන්තය
ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී පැවැති 'B' කාණ්ඩයේ තවත් උණුසුම් තරගයකින් බොස්නියා හර්ට්සගවීනා කණ්ඩායම පරාජය කර ගෝල 4-1ක පහසු ජයක් ලැබීමට ස්විට්සර්ලන්තය සමත් විය.
තරගයේ 74වැනි මිනිත්තුව දක්වාම දෙපිලටම කිසිදු ගෝලයක් ලබා ගැනීමට නොහැකිව දැඩි සටනක් පැවතිණි.
නමුත් අවසන් මිනිත්තු කිහිපය තුළ ක්‍රියාත්මක වූ ස්විට්සර්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රහාරාත්මක ක්‍රීඩාවක නිරත වෙමින් ගෝල 4ක්ම වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කරගත්හ.
චෙකියාව සහ දකුණු අප්‍රිකාව කරට කර සටනක
'A' කාණ්ඩය යටතේ අමෙරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී පැවැති දකුණු අප්‍රිකාව සහ චෙකියාව (චෙක් ජනරජය) අතර තරගය සම තත්ත්වයෙන් අවසන් විය.
කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවැනි ලෙස ක්‍රීඩා කරමින් ගෝල 1-1ක් බැගින් ලබා ගැනීම නිසා මෙම තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත් විය.