මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල විදේශිකයින් 5,000කට වැඩි පිරිසක් සිර කරලා
2026 June 24- Page Views : 5
තායිලන්ත සීමාවට ආසන්න මියන්මාර ප්‍රදේශවල ක්‍රියාත්මක වන මාර්ගගත මූල්‍ය වංචා මධ්‍යස්ථාන තුළ තවමත් පුද්ගලයන් 5,300කට අධික පිරිසක් සිරවී සිටින බව මානව හිමිකම් සංවිධානයක් හෙළි කර තිබේ.
මීට වසරකට පෙර රටවල් කිහිපයක සහභාගීත්වයෙන් සිදු කළ දැවැන්ත මෙහෙයුම් මගින් දහස් ගණනක් මුදාගත් නමුත්, අදාළ වංචා මධ්‍යස්ථාන තවමත් ක්‍රියාත්මක වන බව එම සංවිධානය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා මිනිස් ජාවාරමට හසුවූවන්ට සහන සැලසීමේ සිවිල් සමාජ ජාලය විසින් තායිලන්ත පොලිසිය වෙත ලිපියක් යොමු කර ඇත.
මියන්මාර මිලීෂියා කණ්ඩායම් පාලනය කරන ප්‍රදේශ හතරක පිහිටි මෙම මධ්‍යස්ථාන තුළ විවිධ රටවල පුරවැසියන් රඳවා සිටින බව එම ලිපියේ සඳහන් වේ.
ඇස්තමේන්තු අනුව එහි සිටින පිරිස අතර චීන ජාතිකයන් 1,600ක් පමණ, මියන්මාර වැසියන් 200ක් පමණ, තායිලන්ත ජාතිකයන් 20ක් ඇතුළු පිලිපීනය, තායිවානය, මැලේසියාව, බ්‍රසීලය, රුසියාව, කෙන්යාව, උගන්ඩාව, රුවන්ඩාව සහ සිම්බාබ්වේ යන රටවල පුද්ගලයන් ද සිටින බව සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, මියන්මාරය සහ කාම්බෝජය ඇතුළු අග්නිදිග ආසියානු කලාපයේ ක්‍රියාත්මක වන මෙම අපරාධ ජාල මඟින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රවටා වාර්ෂිකව බිලියන ගණනක මුදල් වංචා කරන බවයි.
මිනිස් ජාවාරම් හරහා මෙම මධ්‍යස්ථාන වෙත රැගෙන එන විදේශිකයන් බලහත්කාරයෙන් සහ පීඩනය යටතේ මූල්‍ය වංචා සඳහා යොදා ගන්නා බවද වාර්තා වේ.
පසුගිය වසරේදී තායිලන්ත මැදිහත්වීමෙන් මියන්මාරයේ මියාවඩ්ඩි ප්‍රදේශයෙන් පුද්ගලයන් 5,000කට ආසන්න පිරිසක් මුදාගත් නමුත්, මෙම වංචා මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම අහෝසි කර නොමැති බවට චෝදනා එල්ල වේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් DKBA මිලීෂියා කණ්ඩායම හෝ මියන්මාර හමුදා පාලනයේ නිල ප්‍රකාශකයන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.