සෞදි අරාබිය විසින් මෙරට තරුණයෙකු වන ආනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඞුවම වහාම අවලංගු කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මත පදනම් වී ඇති බැවින් ඔහු වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවය.

මොහොමඩ් නබි තුමාට අපහාස කරන බවට සැලකෙන අදහසක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පල කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිවරාසා අනෝජන්ට සෞදි අරාබියානු අභියාචානධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබීය.

හුදෙක් තම අදහස් ප්‍රකාශ කිරිම හේතුවෙන් කිසිවෙකු සිරගත නොකළ යුතු අතර මරණ දඬුවම වැනිදඬුවමකට ලක් නොකළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා අද (08) ඔහු රැඳී සිටින බන්ධනාරය වෙත යාමට නියමිතව තිබේ.

බන්ධනාගාරෙයේ රඳවා සිටියදී අනෝජන්ට තවත් සිරකරුවකු විසින් පහරදීමක් සිදුකර තුවාල කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට තානාපතිවරයා දමාම් හි බන්ධනාගාරය වෙත යාමට නියමිත බව වාර්තා වේ.

මේ අතර සිවරාසා අනෝජන්ට එරෙහිව පනවා ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සෞදි අරාබියාවට ගොස් සිටින මෙරට නියෝජිත කණ්ඩායම අද දිනයේත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ ඊයේ (07) දිනයේත් එරට නීතීඥවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත් බවය.

ලබන 17 වන දිනට පෙර අනෝජන්ගේ අභියාචනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ෆයිසර් මුස්තාෆා මන්ත්‍රීවරයා සඳහන් කළේය.