ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙය තහවුරු කර ඇත.

ඊයේ (13) දිනයේ දී මෙම තීරණය ගෙන ඇති අතර, ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකළ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙය සැලකෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

සෞදි අරාබි රජය ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පළ කර තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා සහ සෞදි අරාබි නීති කණ්ඩායම් ද මෙම කටයුත්ත වෙනුවෙන් දැක්වූ කැපවීම නියෝජ්‍ය අමාත්‍යවරයා අගය කර ඇත.