අභිනව රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත් කර තිබේ.

ඒ, ගැටඹේ රාජෝපවනාරාමාධිපති ලෙස කටයුතු කළ පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් අපවත්වීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේ පසුගිය 18 වැනිදා අපවත් වූහ.  

කලක් රෝගාතුරුව පසුවූ උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වනවිට 96 වැනි වියෙහි පසුවිය.

සිරිවිමල නාහිමිපාණන් වහන්සේ, ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය උදෙසාත්, සංස්කෘතික අභිවෘද්ධිය උදෙසාත් සුවිශාල මෙහෙවරක් ඉටුකළ යතිවරයාණන් වහන්සේනමකි.

එමෙන්ම ජාතික හා ආගමික වශයෙන් වැදගත් වූ විවිධ අවස්ථාවන්හිදී රටත් ආගමත් වෙනුවෙන් අභීතව හඬ නැගූ යතිවරයාණන් වහන්සේනමක් ලෙසද උන්වහන්සේ ගෞරවාදරයට පාත්‍ර වූහ.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති අපවත්වී වදාළ පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදී ඊයේ (21) පස්වරු 02.00ට සිදුකෙරිණි.