WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය

2024 October 17- Page Views : 7

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2027 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම සියයට එකක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බව කී වික්‍රමසිංහ මහතා ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම්වලින් පැන යන්නේ නැති අත්දැකීම් සහිත කණ්ඩායමක් අවශ්‍ය බව අවධාරණය කළේය. ආර්ථික අර්බුදයට මුහුණ දී රට ගොඩ ගන්නට තමා සමග වැඩ කළ කණ්ඩායම ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ශක්තිමත් වීමට නම් එම පිරිස ජයග්‍රහණය කරවිය යුතු බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා, "මම ජනාධිපති ලෙස රට බාරගත්තේ අපට ණය ගෙවන්නට බැරිව බංකොලොත්භාවය ප්‍රකාශ කළ අවස්ථාවේදීයි. මගේ මූලික අරමුණ වුණේ ඒ අවස්ථාවේදී යළිත් ණය තිරසර බව ඇති කර බංකොලොත්භාවය ඉවත් කර ගැනීමයි. ඒ සඳහා මා එම අවුරුදු දෙකේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අපට ණය ලබා දී තිබූ රටවල් දහඅට සහ පෞද්ගලික බැඳුම්කරුවන් සමග සාකච්ඡා කොට ගිවිසුමකට එළඹුණා.

ඒ අනුව අප ණය තිරසර බව ඇති කිරීම සම්බන්ධයෙනුත් අනතුරුව අප රට බංකොලොත් භාවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙනුත් එකඟතාවයකට පැමිණියා. මේ සියලු ක්‍රමවේද අවසන් කොට පෞද්ගලික බැඳුම්කරුවන්ගේ අනුමැතිය ලැබුණේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ පළමු සතියේ දීයි.

මෙලෙස අප ඇති කරගත් ක්‍රමවේදය නිසා අපට දැන් විදේශ බැංකු සමග ගනුදෙනු කරන්න පුළුවන්. එමෙන්ම විදේශ ආධාර ලැබෙනවා. අපගේ ණය තිරසර බව නිසා මේ වනවිට බංකොලොත් බව අවසන් වී තිබෙනවා. රට බංකොලොත් බැවින් මුදා ගැනීමේ කාර්යභාරය සඳහා මා පසුගිය පාර්ලිමේන්තුව සමඟ වැඩ කටයුතු කළා. එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලුම දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එමෙන්ම ඒ පාර්ලිමේන්තුව සමග වැඩකටයුතු කළ මගේ නිලධාරී මණ්ඩලයටත් ස්තුතිය ප්‍රකාශ කරනවා.

දැන් අපට තිබෙන්නේ එම තිරසර බව පිළිබඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි. වත්මන් ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන බවට වාර්තා වී තිබෙනවා. එසේ නම් එම සංශෝධිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා මේ රටේ රාජ්‍ය මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එය ක්‍රියාත්මක කිරීම අලුත් පාර්ලිමේන්තුවේ වගකීමක්. එම වැඩ කටයුතු ක්‍රියාත්මක කර තිරසරභාවය ඇතිකර ගැනීම සඳහා අපට ඉලක්ක කිහිපයක් තිබෙනවා. පළමුවෙන්ම 2028 වසරේ සිට අපට ණය ගෙවන්නට තිබෙනවා. 2027 වසර වන විට අපගේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15ක් විය යුතුයි. දැන් එම අගය සියයට 12යි. ඒ ඉලක්කයට යෑම සඳහා සෑම වසරකම සියයට එකක වර්ධනයක් ලබාගත යුතුයි.

මූලික වශයෙන් මේ වසර අවසන් වන විට අපට 2019 වසරේ තිබූ දළ දේශීය නිෂ්පාදනය යළිත් ලබාගන්න පුළුවන්. ඒ සමගම අපගේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගත යුතුව තිබෙනවා. එම විදේශ විනිමය සංචිතය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10-14 අතර අගයක තිබිය යුතුයි.

මේ ඉලක්ක සපුරාලීමෙන් පසුව අපට ණය ගෙවන්නට තිබෙනවා. මේ කාල සීමාව ඇතුළත අප ඉහත ඉලක්ක සපුරා ගත යුතුව තිබෙනවා. ඒ සඳහා අප ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කළ යුතුයි. මේ වැඩසටහනේ තවත් වැදගත් කාරණයක් වන්නේ දුෂණ විරෝධී පියවර ගණනාවක් ක්‍රියාත්මක කිරීමයි. මේ සියලු කාරණා සම්බන්ධ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. මෙම ජනපතිවරණ ප්‍රතිඵල අනුව කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබෙන්නේ නැහැ.