මීලඟ ලෝක බලවතා ට්‍රම්ප් ද? කමලා ද?
2024 November 05- Page Views : 55 ඉදිරි වසර හතරක කාලය සඳහා ධවල මන්දිරයේ බලය හොබවන්නේ කවුරුන්ද යන්න තීරණය කෙරෙන ඇමරිකානු ජනාධිපතිවරණය ශ්‍රී ලංකා වේලාවෙන් අද(05) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
මේ වනවිටත් පුරවැසියන් මිලියන 78ක පිරිසක් ජනාධිපතිවරණයේ පූර්ව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එම වාර්තාවල දැක්වුණේ ජනාධිපතිවරණයට පැය කිහිපයක් තිබියදී වුවද ප්‍රධාන අපේක්ෂකයන් දෙපල වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති කමලා හැරිස් තවදුරටත් දැඩි උණුසුම්කාරි ඡන්ද සටනක් පවතින බවයි.
ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළි අතරතුරදී කමලා හැරිස් සමග ලොව පුරා ප්‍රසිද්ධ අමෙරිකානු තරුවන බියොන්සේ, ටේලර් ස්විෆ්ට්, ජෙනිෆර් ලෝපේස් වැනි පිරිස් එක්වෙද්දී ට්‍රම්ප්ගේ සහායට ටෙස්ලා සමාගමේ සහ ඞ සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු, බිලියනපති ව්‍යාපාරික ඉලෝන් මස්ක්ද පෙනී සිටියා.
අමෙරිකා ඩොලර් මිලියන 75ක මුදලක් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහන් සඳහා ඉලෝන් මස්ක් ප්රදානය කිරීම ද විශේෂත්වයක්. මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීමට මිලියන 186.5ක පිරිසක් සුදුසුකම් සපුරා තිබෙනවා.
අරාබි අමෙරිකානුවන් වැඩි පිරිසක් දිවි ගෙවන තීරණාත්මක ප්‍රාන්තයක් වන මිචිගන්හි සිය අවසන් ප්‍රචාරණ රැලිය උප ජනාධිපති කමලා හැරිස් පැවැත්වූයේ, ගාසා තීරය සහ ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට බයිඩ්න් පරිපාලනය සහය දෙන පසුබිමකයි. රිපබ්ලිකන් පක්ෂ ජනපති අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අවසන් මැතිවරණ ප්රචාරක රැළිය පැවැත්වූයේ තීරණාත්මක පෙනිසිල්වේනියා ප්රාන්තයේදීයි.
ඉදිරි වසර 4ක කාලය සඳහා අමෙරිකාව පාලනය කරන්නේ, එරට ඉතිහාසයේ පළමු ජනාධිපතිවරිය ද, දෙවැනි ධුර කාලය අරඹමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද යන්න මේ වනවිට ලොව පුරා සැමගේ අවධානයට යොමුව තිබෙනවා.