මහජන ආරක්ෂක කමිටු ලබන 20 වැනිදාට පෙර පිහිටුවන ලෙස පොලීසියට දැනුම්දීමක්
2025 May 23- Page Views : 4 ලබන මස 20 වැනිදාට පෙර මහජන ආරක්ෂක කමිටු පිහිටුවා අවසන් කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලීසියට දැනුම් දී තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයා විසින් එය සියලු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට දැනුම් දි ඇති බවයි අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.
වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍රලේඛය පසුගිය අප්‍රේල් මස 08 වැනිදා නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.
මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14022ක් පිහිටුවීමට නියමිතයි.
පොලීසිය හා මහජන සබඳතා ශක්තිමත් කරමින් සාමය ආරක්ෂා කිරීම, අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම හා ආගමික සමගිය තහවුරු කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙම කමිටු පිහිටූවීමෙන් සපුරා ගැනීමට පොලීසිය අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.
විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, විශ්‍රාමික පොලිස් හා ත්‍රිවිද හමුදා නිලධාරීන් මෙන්ම යෞවනයන්ද එම කමිටුවල සාමාජිකයන් ලෙස පත් කෙරෙන අතර ඔවුන්ගේ නිල කාලය වසර 03ක්.
මහජන ආරක්ෂක කමිටුවල ප්‍රගතිය සෑම මසකම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සමාලෝචනය කළ යුතු අතර මාස දෙකකට වරක් දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් එම කමිටු සාමාලෝචනය කිරීමට සැලසුම් කර තිබෙනවා.