සමාජ මාධ්‍යයේ බොරුවකට යුද හමුදාවෙන් උත්තර
2025 June 22- Page Views : 32 කූඨ ලියකියවිලි සකස් කරමින් යුද හමුදා සාමාජිකයින් සේවයෙන් ඉවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් යුද හමුදාව පැහැදිලි කිරීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කළා.
එම නිවේදනයෙන් අවධාරණය කරන්නේ යුද හමුදා පරිපාලනය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති පිරිසක් හෝ පටු අරමුණු ඉෂ්ඨ කර ගැනීමේ අරමුණෙන් මෙම අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි.
යුද හමුදාවේ නිලධාරි සංයුතියට අනුව එය පහළ සිට ඉහළට පිරමීඩාකාරව හැඩ ගැන්වී ඇති ආයතනයක් බවයි යුද හමුදාව එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව පහළ ස්ථරවල නිලධාරීන් විශාල පිරිසක් සිටින නමුත් ඉහළ ස්ථරවල එය ක්‍රමාණුකූලව කුඩා වනවා.
මෙහිදී එම පිරමීඩාකාර සැකිල්ල නිසිපරිදී පවත්වාගෙන යාම සදහා යුද හමුදාව විසින් පරිපාලන නිර්නායක ක්‍රියාත්මක කරනු ලබනවා.
ඒ අනුව එක් එක් ස්ථරවල සිට ඉන් ඉහළ ස්ථරවලට යාම සදහා සපුරාලිය යුතු නිර්ණායක සම්පූර්ණ කිරීමට අපොහොසත් වන නිලධාරීන්ට සේවයෙන් ඉවත්වීමට සිදුවන බවයි එම නිවේදනයේ පෙන්වා දී තිබෙන්නේ.
එහිදී ඔවුන් රැදී සිටින නිලය ඔවුන් හට ලබා ගත හැකි උපරිම නිලය වශයෙන් සැලකෙන අතර ඒ අනුව එම නිලයේ රැදී සිටිය හැකි උපරිම සේවා කාලය සම්පූර්ණ කළ පසු ඔවුන් යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කරනු ලබන බවයි නිවේදනයේ සදහන් වන්නේ.
තිස් වසරක යුද්ධය අවසන් කිරීම සදහා දායකවූ හමුදාවක සේවය කළ නිලධාරීන්ට මානුෂීය හේතූන් මත උසස්වීම් නොලබා තම නිලයේ රැදී සිටිය හැකි උපරිම සේවා කාලය ඉක්මවා සේවය කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති නිලධාරීන් ද නිසි සුදුසුකම් සපුරාලීමට අපොහොසත්ව තිබූ පසුබිමක වුවද වසර බැගින් වූ සේවා දිගු තුනේ සිට අට දක්වා වශයෙන් ලබා දෙමින් යුද හමුදාව තුළ රදවාගැනීමට කටයුතු කර තිබූ බවටද එම නිවේදනයේ පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මෙම ක්‍රියාව යුද හමුදාවේ ඉදිරි කටයුතු සදහා දැඩි ලෙස බලපා ඇති බවට උපදේශක මණ්ඩල මගින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් ඉහළ නිලයන් තුළ තවදුරටත් රැදී සිටිම හේතුවෙන් විනයගරුක සහ දක්ෂතා ඇති පහළ මට්ටමේ නිලධාරීන් අධ්‍යර්යමත් වන බවද එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.
මෙම තත්ත්වය හමුවේ කණිෂ්ට නිලධාරීන් යුද හමුදාව හැර යන තත්ත්වයට පත්ව තිබූ බවයි යුද හමුදාව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.